saleh-who-wrote-the-last-will-goes-to-the-hospital---bodhipuja-for-saleh

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් (මළ බද්ධය) අද (07) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ඉකුත් පෙබරවාරි මස 25 වැනිදා සිට ඔහු රැඳවුම් නියෝග යටතේ මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවිය.




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී තමන්ට අමානුෂික ලෙස වදහිංසා පමුණුවන බවට චෝදනා කරමින් ඒ මහතා පසුගිය සිකුරාදා රාත්‍රියේ සිට සිය කුටිය තුළම ආහාර සහ ඖෂධ ගැනීම ප්‍රතික්ෂේප කරමින් දැඩි උපවාසයක් ආරම්භ කර තිබුණි. තමන් මරණය අපේක්ෂාවෙන් මෙම වර්ජනයේ නිරත වන බව ප්‍රකාශ කර ඇති ඔහු, තමාට මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත්, අවසන් කැමති පත්‍රය ලිවීම සඳහා අවශ්‍ය ලියකියවිලි රැගෙන වහාම පැමිණෙන ලෙසත් අද දිනයේ සිය නීතිඥවරුන්ට දැනුම් දී ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සුරේෂ් සලේ මහතාගේ නීතිඥවරුන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත ඊට අදාළව ලිඛිත ඉල්ලීමක් යොමු කර තිබේ. තම සේවාදායකයාගේ අවසන් කැමැති පත්‍රය සකස් කිරීම සඳහා ඔහු හමුවීමට කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙසත්, ස්වාධීන වෛද්‍ය කණ්ඩායමක් මගින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර සුදුසු වෛද්‍ය පහසුකම් සහිත රෝහලකට ඔහුව වහාම මාරු කර යවන ලෙසත් අදාළ ලිපිය හරහා ඔවුන් ඉල්ලා ඇත.




මේ අතර, සිය සැමියාට එරෙහිව සිදුවන බව කියන කෲර, අමානුෂික හා අවමන් සහගත සැලකීම් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම සම්බන්ධයෙන් වහාම ස්වාධීන අපරාධ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ. සිය සැමියාට ප්‍රමාණවත් පරිදි ආහාර ලබා නොදෙන බවත්, රාත්‍රී දහයෙන් පසුව වැසිකිළි පහසුකම් ලබාගැනීම පවා අවහිර කර ඇති බවත් ඇය එමගින් චෝදනා කර ඇත. මෙලෙස සිදුකරන අමානුෂික ක්‍රියා හේතුවෙන් ඔහු දැඩි මලබද්ධයෙන් සහ තවත් ශාරීරික සංකූලතා රැසකින් පීඩා විඳින බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාවෙන් පවා තහවුරු වී ඇති බව ඇය සිය පැමිණිල්ල මගින් පොලිස්පතිවරයාට වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මෙම අසනීප තත්වය වෙනුවෙන් සර්වජන බලය පක්ෂයේ දිලිත් ජයවීර ප්‍රමුඛ පිරිස බෝධි පූජා පවත්වා තිබෙන අතර සලේගේ බිරිය පුතා සොයුරා ඇතුළු අයගේ හඩපට ප්‍රචාරය කරමින් දෙරණ මාධ්‍ය ජාලය මගින් සලේ නිර්දෝෂී යයි හගවමින් විශේෂ ප්‍රවෘත්ති ප්‍රචාරය කරමින් සිටී.
සලේට අසාධාරණයක් සිදුවන්නේ නම් සලේගේ නීතීඥයින්ට මේ වෙනුවෙන් නීතිය හමුවට යාමට අවස්ථාව තිබුණත් එසේ නොකර මාධ්‍ය හරහා ප්‍රචාරයක් පමණක් සිදුකිරීමද විමතිදායක තත්වයක් නිර්මාණය කර තිබේ.