2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඉලක්ක කරගනිමින් වංචනිකයන් විසින් අන්තර්ජාලය හරහා විශාල පරිමාණයෙන් මුදල් වංචා කිරීමේ ජාවාරම් ක්‍රියාත්මක කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිල FIFA වෙබ් අඩවියට සමාන ලෙස සකස් කළ ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කරමින් රසිකයන් රවටා ඔවුන්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමට සහ ව්‍යාජ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමට මෙම පිරිස් කටයුතු කරමින් සිටිති.
එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල් කේන්ද්‍ර කර ගනිමින් ජුනි 11 වන දින ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සඳහා ප්‍රවේශපත්‍ර මිල අධික වීම හේතුවෙන් සහ ප්‍රවේශපත්‍ර සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම නිසා රසිකයන් බොහෝ විට අවදානම් සහිත අන්තර්ජාල අඩවි වෙත යොමු වීමේ ප්‍රවණතාවක් පවතින බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි. FBI ආයතනය විසින් නිකුත් කළ අනතුරු ඇඟවීමකට අනුව "fifa-ticket.live" සහ "fifaworldcup26.sale" වැනි වසම් නාම (domain names) භාවිතා කරමින් මෙම වංචා සිදු කෙරේ.
සිංගප්පූරුව පදනම් කරගත් සයිබර් ආරක්ෂණ සමාගමක් වන Group-IB විසින් පසුගිය අගෝස්තු මාසයේ සිට පමණක් FIFA ආයතනයට සම්බන්ධ බව හඟවමින් ක්‍රියාත්මක වන ව්‍යාජ වෙබ් අඩවි 4,300කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත. මේවා අතරින් අඩවි 300කට වැඩි ප්‍රමාණයක් චීන භාෂාව කතා කරන පුද්ගලයෙකු විසින් පාලනය කරනු ලබන බවද අනාවරණය වී තිබේ. ඇතැම් වෙබ් අඩවි දැනට අක්‍රියව පැවතියද, තරගාවලිය ආරම්භ වීමට ආසන්න වෙත්ම ඒවා සක්‍රිය වීමේ අවදානමක් පවතින බව පර්යේෂකයෝ පවසති.
මෙම වංචනික අඩවි බොහෝමයක් නිල FIFA වෙබ් අඩවියට සමාන වන පරිදි, නිල වෙළඳ සලකුණු සහ Visa වැනි ගෙවීම් හවුල්කරුවන්ගේ ලාංඡන භාවිතා කරමින් ඉතා සූක්ෂ්ම ලෙස නිර්මාණය කර ඇත. එමගින් පරිශීලකයන්ට සැබෑ වෙබ් අඩවියක අත්දැකීම ලබා දෙමින් ඔවුන්ගේ බැංකු තොරතුරු ලබාගැනීම සිදු කෙරේ. මෙයට අමතරව, Facebook වැනි සමාජ මාධ්‍ය වේදිකාවල දැන්වීම් ප්‍රචාරණය කරමින් ද මෙම ව්‍යාජ අඩවි වෙත ජනතාව යොමු කිරීමේ උත්සාහයන් ද දැකගත හැකිය.
ව්‍යාජ ප්‍රවේශපත්‍ර වලට අමතරව, ව්‍යාජ එකතු කළ හැකි භාණ්ඩ සහ ක්‍රීඩා ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහාද මෙම වංචනික වෙබ් අඩවි භාවිතා වන බව පෙනී යයි. තවද, රැකියා අපේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් LinkedIn වැනි ජාලයන්හි ඇති ඡායාරූප සහ නම් භාවිතා කරමින් ලෝක කුසලාන තරගාවලියේ සේවකයන් ලෙස පෙනී සිටිමින් කරන වංචා පිළිබඳවද තොරතුරු වාර්තා වී ඇත. මේ පිළිබඳව දැනුවත් වී සිටින Meta සමාගම ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු වන සබැඳි ඉවත් කිරීමට සහ අදාළ දැන්වීම් සම්බන්ධයෙන් පරිශීලකයන්ව දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
