හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රථම ආර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට එරෙහිව නීතිමය පියවර නොගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. අදාළ සංචාරය සිදු කර තිබුණේ බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙත ගෞරව මහාචාර්ය පදවියක් පිරිනැමීමේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම අරමුණු කරගෙනය.
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් නීතිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
කෙසේ වෙතත්, මෙම එක්සත් රාජධානියේ සංචාරය සඳහා රාජ්‍ය මුදල් යෙදවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව බලධාරීන් විසින් මේ දිනවල සොයා බලමින් සිටියි. පොදු දේපළ පනත යටතේ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත ඔවුන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමේ සූදානමක් පවතින අතර, ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
මෙම සිද්ධියට අදාළ නඩුව ජුනි මස 08 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව ඇත.
