
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ සේවයේ නිරතව සිටි එකම කාන්තා කොමාන්ඩෝ නිලධාරිනිය ඇතුළු තිදෙනෙකු ඩෙවන් ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය බදාදා අලුයම 4:00 ට පමණ සෝර්ටන් ඩවුන් ප්‍රදේශයේ කුඹුරකට කඩාවැටී ඇති මෙම එම්.කේ.4 (MK4) වර්ගයේ මර්ලින් හෙලිකොප්ටර් යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි හමුදා පුහුණු අභ්‍යාසයක් ක්‍රියාත්මක වෙමින් පැවතී ඇත.
දැඩි සුළං, තද වැසි සහ අවම දෘශ්‍යතාව සහිත ඉතා අයහපත් කාලගුණික තත්ත්වයක් මධ්‍යයේ සිදුවූ මෙම අනතුරින් යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 31 හැවිරිදි ලුතිනන් ලිලී-මේ ෆිෂර්, 42 හැවිරිදි ලුතිනන් කොමාණ්ඩර් ක්‍රිස් ගේසන් සහ 24 හැවිරිදි ප්‍රධාන නිලධාරී ඕවන් ග්‍රීන් යන තිදෙනා බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් තහවුරු කර තිබේ. ආරක්ෂක ලේකම් ජෝන් හීලි සහ කොමාන්ඩෝ හෙලිකොප්ටර් බලකායේ අණදෙන නිලධාරී කර්නල් විල් පෙන්මන් යන මහත්වරුන් මෙම නිලධාරීන් තිදෙනා සිය බලකායන් වෙනුවෙන් ඉහළ කැපවීමකින් ක්‍රියා කළ විශිෂ්ට වෘත්තිකයන් පිරිසක් ලෙස හඳුන්වමින් ඔවුන්ගේ අභාවය වෙනුවෙන් දැඩි ශෝකය පළ කර ඇත. මේ වනවිට අනතුරට හේතුව සෙවීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් වෙතද මේ පිළිබඳව දැනුම් දී තිබේ.
අනතුර සිදුවූ අවස්ථාවේදී හෙලිකොප්ටර් යානයේ එන්ජිම ක්‍රියාවිරහිත වන හඬක් ඇසුණු බවත්, ඉන් අනතුරුව අහස පුරා විශාල රතු පැහැති ආලෝක ධාරාවක් විහිදී ගොස් මිනිත්තු කිහිපයකට පසු විශාල පිපිරුම් හඬක් ඇසුණු බවත් ප්‍රදේශවාසී සාක්ෂිකරුවෝ පවසති. මෙම අනතුරට ලක්වූ මර්ලින් එම්.කේ.4 හෙලිකොප්ටර් යානා සාමාන්‍යයෙන් මුහුදු සීමා නිරීක්ෂණ කටයුතු, සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් මෙන්ම සබ්මැරීන නාශක යුධ කටයුතු සඳහා බහුලව භාවිත වන්නකි. මීට පෙර 2024 වසරේදී ද මෙවැනිම මර්ලින් යානයක් ඉංග්‍රීසි ඕඩයට කඩාවැටීමෙන් ලුතිනන් රොඩ්රි ලීෂන් නමැති නිලධාරියෙකු මියගොස් තිබුණි.
මියගිය ලිලී-මේ ෆිෂර් මහත්මිය 2019 වසරේ මැයි මාසයේදී රාජකීය නාවික හමුදාවට බැඳී ඇති අතර, කාන්තාවන් ඉතා සුළු පිරිසක් පමණක් සමත් වන සති 16 ක දුෂ්කර සර්ව-ආයුධ කොමාන්ඩෝ පාඨමාලාව සාර්ථකව නිමකර තිබුණි. ක්‍රීඩාවටද දස්කම් දැක්වූ ඇය 2021 වසරේ යුරෝපීය ට්‍රයිඇත්ලන් වයස් කාණ්ඩ ශූරතාවලියේදී බ්‍රිතාන්‍යය නියෝජනය කර ඇති අතර, බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් කිහිපයකටද දායක වී ඇත. කාන්තාවන්ටද රාජකීය මැරීන් බලකා පාඨමාලාවන් සාර්ථකව නිම කළ හැකි බව දැඩිව විශ්වාස කළ ඇය, රට වෙනුවෙන් සේවය කිරීම තමන්ට ලැබුණු විශාල ගෞරවයක් ලෙස මීට පෙර අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණි.
මෙම ඛේදවාචකය පිළිබඳව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් මහතා සිය කණගාටුව පළ කරමින්, හදිසි සහන සේවා කණ්ඩායම් දැක්වූ දායකත්වයට ස්තූතිය පුද කර ඇත. එමෙන්ම, නාවික හමුදාවේ ගුවන් බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කරන වේල්ස් හි කුමරිය වන කේට් මීඩ්ල්ටන් මහත්මියද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් සහ විලියම් කුමරු මෙම අසීරු අවස්ථාවේදී මියගිය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් සහ මිතුරන් සමඟ සැමවිටම රැඳී සිටින බවයි.
