රජය විසින් ධර්මාධිකරණයක් ස්ථාපිත කිරීමට පියවර ගතහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට තීරණයකට එළඹ තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමකදීය. එහිදී හිටපු ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට උපදෙස් ලබා දී ඇත්තේ නව ධර්මාධිකරණයක් පිහිටුවීමේ ක්‍රියාවලිය වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද යන්න පිළිබඳව නීතිමය කරුණු සොයා බැලීම සඳහා වහාම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන ලෙසයි. දේශපාලන ආරංචි හෙළි කරන්නේ මේ වනවිට රජයට එරෙහි විවිධ අවලාද නගමින් සිටින භික්ෂූන් මේ හරහා මර්දනය වුවහොත් විපක්ෂයට සිදුවන අවාසිය නිසා මෙම පියවර ගන්නට සූදානම් වන බවයි.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රතිපාදන සලසා ඇත්තේ සංඝාධිකරණයක් පිහිටුවීම සඳහා පමණක් බව රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දී ඇත. ඒ අනුව ඊට පරිබාහිරව ධර්මාධිකරණයක් ඇති කිරීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවද හෙතෙම සඳහන් කර තිබේ. එසේම, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් මීට පෙර සංඝාධිකරණයක් පිහිටුවීමට අදාළ කෙටුම්පතක් සකස් කොට පාර්ලිමේන්තුවට භාර දී ඇති බවද ඔහු වැඩිදුරටත් සිහිපත් කර ඇත.
පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් මුල් කරගෙන ඇති වූ සිදුවීම පදනම් කරගනිමින් ධර්මාධිකරණයක අවශ්‍යතාවක් පවතින බවට කාරක සංඝ සභාවල ස්වාමීන් වහන්සේලා කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවද වික්‍රමසිංහ මහතා පවසා තිබේ. එමෙන්ම අදාළ සිදුවීමට අදාළ විනය කාරණා සම්බන්ධයෙන්ද උන්වහන්සේලා මෙතෙක් අදහස් දක්වා නැත. අතීතයේ මෙරට පාලනය කළ විදේශීය ජාතිකයන් පවා නීති සම්පාදනය කිරීමේදී බෞද්ධ දර්ශනය පිළිබඳව ඉතා ගැඹුරින් අධ්‍යයනය කර තිබූ බව හිටපු ජනාධිපතිවරයා පක්ෂ නායක හමුවේදී අවධාරණය කර ඇත.
මේ අතර, ධර්මාධිකරණයක් නිර්මාණය කිරීම උදෙසා සංකල්ප පත්‍රිකාවක් සකස් කිරීමට දායක වූ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිවද නීතිමය පියවර ගත යුතු බවට වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ නායකයන් වෙත දැනුම් දී තිබේ. මීට අමතරව, කිසිදු නිල චෝදනා පත්‍රයක් හෝ ඉදිරිපත් කිරීමකින් තොරව පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් දැරූ තනතුරුවලින් උන්වහන්සේව ඉවත් කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද මෙම රැස්වීමට සහභාගී වූ විපක්ෂයේ පක්ෂ නායකයෝ සිය දැඩි විරෝධය පළ කර ඇත.
