i-was-told-that-sale-started-upavayak-due-to-inhumane-treatment---gammanpila

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා තමන්ට සිදුවන අමානුෂික සැලකීම්වලට එරෙහිව ඊයේ රාත්‍රියේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අනාවරණය කළේය. අද (06) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි එම උපවාසය අත්හැර තම ජීවිතය ආරක්ෂා කරගන්නා ලෙස හෙතෙම සලේ මහතාගෙන් එහිදී දැඩි ඉල්ලීමක් ද කළේය.




සුරේෂ් සලේ මහතාගේ බිරිඳ සහ පුත්‍රයා විසින් කරන ලද හදිසි දැනුම්දීමකට අනුව මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවූ බව ගම්මන්පිල මහතා සඳහන් කළේය. ඔහුගේ රඳවා තබා ගැනීම අධිකරණ නියෝගයක් මත සිදු වූවක් නොවන බවත්, එය ජනාධිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවතින බලතල අවභාවිත කරමින් ලබාදුන් නියෝගයක ප්‍රතිඵලයක් බවත් පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා, මේ වන විටත් එම නියෝගය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇති බව ද අවධාරණය කළේය.

සලේ මහතාගේ සහෝදරයා සහ පුත්‍රයා අද උදෑසන ඔහුව බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී ඔහු දැඩි ලෙස මානසිකව කඩා වැටී සිටි බව දැකගන්නට ලැබී තිබේ. ඊයේ රාත්‍රියේ ඔහුට ආහාර ලබා දීමේදී පත්තර පිටුවක් බිම එළා ඒ මත බත් සහ රාබු හොදි පමණක් බෙදා ඇති අතර, එය අතට ගැනීමට උත්සාහ කිරීමේදී පත්තරය ඉරී ගොස් ආහාර බිමට වැටීම හේතුවෙන් ඔහුට බිම වැටුණු එම ආහාර අනුභව කිරීමට සිදුව ඇත. තමන්ට සුනඛයෙකුටත් වඩා පහත් අන්දමින් සලකන බව පවසමින් දැඩි කම්පනයෙන් යුතුව හඬා වැටුණු සලේ මහතා, ආහාර, ජලය සහ ඖෂධ සියල්ල ප්‍රතික්ෂේප කරමින් මෙලෙස මාරාන්තික උපවාසයකට යොමුව ඇති බව ගම්මන්පිල මහතා විස්තර කළේය.




මේ අතර, සලේ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් අතර සිදුවූ කතාබහට සවන්දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් නිලධාරීන් හත්දෙනෙකු යොදවා සිටි බව ද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය. අතීතයේදී සහරාන් අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් නිලධාරීන් නොමැති බවට ශානි අබේසේකර මහතා ප්‍රකාශ කර තිබුණ ද, අද වන විට පියෙකු සහ පුතෙකු අතර සිදුවන සංවාදයකට සවන් දීමට තරම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිලධාරීන් සිටීම උපහාසයට කරුණක් බව ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය. මේ අවස්ථාවේදී සුරේෂ් සලේ මහතාගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි දේශපාලන වාසිය හිමිවන්නේ වත්මන් රජයට බැවින්, උපවාසය අත්හැර ජීවත් වෙමින් තමන්ගේ නිදොස් බව ඔප්පු කරන ලෙස හෙතෙම සිය මිත්‍රයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.