
පසුගියදා යෙදී තිබුණු පියවරුන්ගේ දිනය ලොව පුරා බොහෝ දෙනෙකු ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබූ අතර, බ්‍රිතාන්‍ය රජ පවුල මෙන්ම ජනප්‍රිය තරු රැසක් ද ඊට එක්ව සිටියහ. වේල්සයේ කුමරු වන විලියම් කුමරුගේ 44 වැනි උපන්දිනය ද එදිනටම යෙදී තිබීම විශේෂත්වයක් විය.
මේ නිමිත්තෙන් කෙන්සිංටන් මාලිගයේ උද්‍යානයේදී ලබාගත්, විලියම් කුමරු සිය දියණිය වන චාලට් කුමරියව ආදරයෙන් වැළඳගෙන සිටින සංවේදී ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි. කේට් කුමරිය මෙන්ම චාලට්, ජෝර්ජ් සහ ලුවිස් යන දරුවන්ගේ ආදරය කැටි කරමින් "ලෝකයේ හොඳම තාත්තාට සුබ උපන්දිනක් සහ පියවරුන්ගේ දිනයක් වේවා! අපි ඔබට ගොඩක් ආදරෙයි" යනුවෙන් එහි සටහන් කර තිබුණි.මේ අතර හැරී කුමරු ද සිය දරුවන් වන පස් හැවිරිදි ලිලිබට් සහ සත් හැවිරිදි ආචී සමඟ පියවරුන්ගේ දිනය සමරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේගන් මාර්කල් විසින් ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කර තිබුණි. ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට අදාළ ටී-ෂර්ටයකින් ආචී සැරසී සිටි අතර, ඔවුන්ට මෙවැනි පියෙකු ලැබීම විශාල භාග්‍යයක් බව මේගන් සිය සටහනෙන් ප්‍රකාශ කර තිබුණි. තවද, බ්‍රිතාන්‍ය රජ පවුලේ නිල 'X' සමාජ මාධ්‍ය ගිණුම හරහා ද තුන්වන චාල්ස් රජු සිය පියා වන ෆිලිප් කුමරු සමඟ 1971 වසරේදී ලබාගත් පැරණි ඡායාරූපයක් පළ කරමින් ලොව පුරා සිටින සියලුම පියවරුන්ට සුබ පැතුම් එක් කර තිබීම කාගේත් අවධානයට ලක් විය.
මෙවර පියවරුන්ගේ දිනය ඩේවිඩ් බෙකම් සහ වික්ටෝරියා බෙකම් යුවළට තරමක් සංවේදී මුහුණුවරක් ගෙන තිබුණේ, වසරකට වැඩි කාලයක් තිස්සේ ඔවුන්ගෙන් සම්පූර්ණයෙන්ම දුරස් වී සිටින සිය වැඩිමහල් පුතු වන 27 හැවිරිදි බෘක්ලින් සමඟ නැවත සබඳතා ගොඩනඟා ගැනීමට ඔවුන් මෙම දිනය අවස්ථාවක් කරගත් බැවිනි. බෘක්ලින් මෑතකදී සිය පවුලේ අර්බුද හාස්‍යයට ලක් කරමින් ඩොලර් මිලියනයක මුදලකට වෙළඳ දැන්වීමකට ද පෙනී සිටි පසුබිමක් තුළ, 51 හැවිරිදි ඩේවිඩ් බෙකම් සහ 52 හැවිරිදි වික්ටෝරියා සිය සමාජ මාධ්‍ය ගිණුම්වල බෘක්ලින් ඇතුළු දරුවන් සිව්දෙනා සමඟ සිටින පැරණි ඡායාරූප බෙදාගනිමින් සිය පවුලේ බැඳීම යළිත් සිහිපත් කිරීමට උත්සාහ කර තිබුණි. පියෙකු වීම තම ජීවිතයේ වැදගත්ම කාර්යභාරය බව ඩේවිඩ් බෙකම් එහි සටහන් කර තිබිණි.
මෙම ජනප්‍රිය චරිතවලට අමතරව තවත් කලාකරුවන් රැසක් ද පියවරුන්ගේ දිනය සැමරූහ. සුප්‍රකට රූපවාහිනී සූපවේදියෙකු වන ජෙමී ඔලිවර් සිය පවුලේ සාමාජිකයින් සමඟ එක්ව ඉතා සතුටින් මෙම දිනය සමරන අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණි. එසේම, පසුගිය වසරේ ජූලි මාසයේදී සිය පියා වූ ප්‍රවීණ ගායක ඔසී ඔස්බෝන්ගේ අභාවයෙන් පසු දැඩි සේ කම්පනයට පත්ව සිටින කෙලී ඔස්බෝන් ද සිය පියාගේ මතකයන් අවදි කරමින් සංවේදී සටහනක් සහ ඡායාරූප කිහිපයක් පළ කරමින් පියවරුන්ගේ දිනය සැමරීමට අමතක නොකළාය.