කඳාන ප්‍රදේශයේ සිට රාගම බලා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පිය-පුතු යුවළක් දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් කඳාන පේලන්ද දුම්රිය හරස් මාර්ගයෙන් වාර්තා වේ. පසුගිය 19 වැනිදා සිදු වූ මෙම අනතුරෙන් යතුරුපැදිය පදවනු ලැබූ තරුණයා බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, එහි පසුපස ගමන් ගත් ඔහුගේ පියා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස අනතුරින් අකාලයේ දිවියෙන් සමුගෙන ඇත්තේ රාගම, පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි වැලිසරගේ කේසාන් ජීවක ප්‍රනාන්දු නැමැති පුත්‍රයා සහ ඔහුගේ 48 හැවිරිදි පියා වන වැලිසරගේ රොෂාන් කුමාර ප්‍රනාන්දු නැමැති අයයි. මියගිය පිය-පුතු දෙදෙනාගේ පශ්චාත් හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා ඔවුන්ගේ දේහයන් මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් රාගම පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක තාරක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඒ.ඒ.සී. ගනේපොල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.