champika-dineth-runs-away-with-her-family---dont-even-mention-that-brother

නුවරඑළිය ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළ දී අභිරහස් අන්දමින් ජීවිතක්ෂයට පත්ව සිටි භෞත චිකිත්සකවරියකගේ සිරුර, මෝටර් රථයක ඉදිරිපස අසුනේ තබා ආරක්ෂිත පටිය ද පලඳවා මහනුවර සහ තෙල්දෙණිය ප්‍රදේශ වෙත ප්‍රවාහනය කළ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස පෙනී සිටි ප්‍රධාන සැකකරු සොයා නුවරඑළිය මූලස්ථාන පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක ලෙස සේවය කළ රත්නායක පතිරණගේ ශ්‍යාමා දර්ශනී නමැති තරුණියකි.

ඇගේ මළසිරුර තෙල්දෙණිය රෝහල ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී පසුව පොලීසිය විසින් සොයාගත් අතර, සැකකරු විසින් ඇයව විවිධ උපක්‍රම ඔස්සේ රවටා වෙස්මාරු කරමින් රට පුරා සැඟවී සිටින වංචනිකයෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.




පොලිස් විමර්ශනවලට අනුව හෙළි වී ඇත්තේ සැකකාර පුද්ගලයා ඉකුත් දහසය වැනිදා සවස 6.30 ට පමණ මෙම මියගිය තරුණියගේ සිරුර මෝටර් රථයේ ඉදිරිපස අසුනේ තබා, එයට ආරක්ෂිත පටිය ද පලඳවා කිසිවෙකුටත් සැක නොසිතෙන අයුරින් ධාවනය කරවා ඇති බවයි. ඔහු අවසන් වරට පදිංචිව සිටි මහනුවර කුණ්ඩසාලේ, ආයුර්වේද පාරේ පිහිටි නිවස ඉදිරිපිටට මෙම සිරුර සහිත මෝටර් රථය රැගෙන විත් නතර කර තිබේ. පසුව එදින රාත්‍රී 8.10 ට පමණ යළිත් එම මෝටර් රථයටම ගොඩවැදී සිරුර ද සමගින් ඔහු එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බව යාබද නිවසක සවිකර තිබූ සී.සී.ටී.වී. ආරක්ෂිත කැමරා දර්ශන සියුම් ලෙස පරික්ෂා කිරීමේදී නුවරඑළිය මූලස්ථාන පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

මෙම සී.සී.ටී.වී. ආරක්ෂිත කැමරා පට වැඩිදුරටත් පරීක්ෂාවට ලක් කිරීමේදී තවත් සුවිශේෂී තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ. එහිදී පෙනී ගොස් ඇත්තේ සැකකරු පදවාගෙන ආ මෝටර් රථය පසුපසින් වෙනත් වෑන් රථයක් ද ලුහුබඳිමින් පැමිණ ඇති අතර, එහි කාන්තාවක සහ කුඩා දරුවන් තිදෙනෙකු ගමන් කර ඇති බවයි. දරුවන් තිදෙනා ද කැටුව වෑන් රථයෙන් පැමිණි මෙම කාන්තාව, වංචනික ලෙස ඉංජිනේරුවරයෙකු ලෙස පෙනී සිටින සැකකරුගේ අනියම් බිරිඳක බවට පොලීසිය විසින් මේ වන විට තොරතුරු තහවුරු කරගෙන ඇත. මෙම භෞත චිකිත්සකවරියගේ ඝාතනය හෝ මරණය පිළිබඳව මෙම අනියම් බිරිඳ ද කල්තියාම සියල්ල දැනුවත්ව සිටින්නට ඇතැයි පොලීසිය දැඩි ලෙස සැක පහළ කරයි.




දැනට ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටින මෙම කාන්තාව ද අත්අඩංගුවට ගැනීම සඳහා නුවරඑළිය මූලස්ථාන පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත. ඇය දරුවන් ද සමගින් දිවයිනෙන් පලා යාමට ඉඩ ඇති බැවින්, එලෙස මෙරටින් පලායාම වැළැක්වීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් දැනුම් දීමට පොලීසිය පියවර ගෙන තිබේ. මේ අතර, තමන්ව මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස හඳුන්වා දුන් මෙම වංචනික සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ ඇඟලුම් හෝ රෙදිපිළි සාප්පුවක් ද පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි විය.

ඉකුත් දහසය වැනිදා මෙම අපරාධය සිදුවූ දින, සැකකරු විසින් එම රෙදි සාප්පුවේ සේවය කරන තරුණියන් දෙදෙනෙකුට දුරකථන ඇමතුමක් ලබා දෙමින් වහාම වෙළඳසැල වසා දමන ලෙස නියෝග කර ඇත. ඔහුගේ එම ඉල්ලීමට හෝ දැනුම්දීමට අනුව එම සේවිකාවන් දෙදෙනා එදිනම සාප්පුව වසා දමා ඇති අතර, පසුව පොලීසිය විසින් මෙම සේවිකාවන් කැඳවා සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම තොරතුරු සියල්ල අනාවරණය වී තිබේ. සැකකරු විවිධ ප්‍රදේශවල තරුණියන් තිදෙනෙකු පමණ විවාහ කරගන්නා බව පවසමින් රවටා, ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ අයෙකු බවට ද පොලීසියට පැමිණිලි සහ තොරතුරු ලැබී ඇත.



මියගිය භෞත චිකිත්සකවරිය වූ ශ්‍යාමා දර්ශනී සමඟ ද මෙම පුද්ගලයා වංචනික ලෙස ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟා ගෙන තිබේ. ඇයව විවාහ කරගෙන කැනඩාව බලා රැගෙන යන බවට ව්‍යාජ පොරොන්දු දෙමින්, ඇය සතු ව තිබූ රුපියල් කෝටි එකහමාරකට අධික විශාල මුදලක් වරින් වර ලබාගෙන ඇත. පසුව ඇයව සම්පූර්ණයෙන්ම මගහරිමින් සැකකරු වංචාකාරී ලෙස හැසිරීම නිසා මෙම තරුණිය දැඩි ලෙස මානසිකව ඇද වැටී, දැඩි සිත් තැවුලකින් පසුවී ඇති බව විමර්ශනවලදී තහවුරු විය. ඇය නුවරඑළියේ පිහිටි මහල් නිවාසයක රැඳී සිටියදී මෙලෙස මියගොස් ඇති අතර, සැකකරු ඇගේ සිරුර මෝටර් රථයක දමාගෙන තෙල්දෙණිය රෝහල අසලට ගෙනවිත් දමා පලා ගොස් තිබුණි.

නුවරඑළිය මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුගේ පවුලේ පසුබිම සොයා කුරුණෑගල නාරම්මල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මව්පියන් සහ වැඩිමල් සහෝදරයන් පදිංචි නිවස වෙත ගොස් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එහිදී සැකකරුගේ මව පොලීසිය හමුවේ පවසා ඇත්තේ තම පුතා තමන්ගේ වියදම් සඳහා වරින් වර රුපියල් පනස්දහස, ලක්ෂ එකහමාර සහ ලක්ෂ දෙක බැගින් මුදල් එවනු ලැබුවද, ඔහුව වසර අටකින් පමණ තමන් දැක නොමැති බවයි. මීට වසර අටකට පෙර අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි නිවසක ඔහු රැඳී සිටියදී අවසන් වරට ගොස් හමුවූ බවත්, ඉන් පසුව කිසිදු දිනක ඔහුව දැක නොමැති බවත් මව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර පොලීසිය හමුවේ අදහස් දැක්වූ සැකකරුගේ වැඩිමල් සොහොයුරා තම බාල සහෝදරයා පිළිබඳව දැඩි පිළිකුලකින් යුතුව අතිශය සංවේදී ප්‍රකාශයක් සිදුකර ඇත. ඔහු පවසා ඇත්තේ තම මල්ලි වුවද ඔහු කුඩා කල සිටම විවිධ පුද්ගලයන් රවටමින්, මුදල් හා නොයෙකුත් දෑ වංචනිකව ලබාගත් දූෂිතයෙකු බවයි. "ඔය මල්ලි කියන මිනිහගේ මූණවත් බලන්න මම කැමති නැහැ, ඔහු ඒ තරම් මහ බලු වැඩ කරන, එපා කරපු මිනිහෙක්. රට පුරාම ඉන්න කෙල්ලෝ සෑහෙන සංඛ්‍යාවක් මේ මිනිහා රවට්ටලා සල්ලි අරන් තියෙනවා. මගේ මල්ලි වුණත් එයා වෙස් මාරු කර කෙල්ලො රවටපු වංචනිකයෙක්" යැයි සහෝදරයා ප්‍රකාශ කර තිබේ. විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඒවා යළි නොදී මගහැර සිටීම නිසා, ණයහිමියන් නිවස සොයා පැමිණ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව මීට වසර අටකට පෙර නිවසින් පන්නා දැමූ බව ද පවුලේ අය පවසති.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුගේ අධ්‍යාපන සහ පෞද්ගලික තොරතුරු රැසක් ද අනාවරණය වී තිබේ. මොහු අපොස උසස් පෙළ දක්වා පමණක් ඉගෙනුම ලබා ඇති අතර, පසුව ජංගම දුරකථන සේවා සපයන සන්නිවේදන ආයතනයක කාලයක් සේවකයෙකු ලෙස සේවය කර ඇත. මොහු මීට පෙර නීත්‍යානුකූලව විවාහ වී සිට ඇති අතර එම විවාහයෙන් එක් දරුවෙකු ද සිටී. එහෙත් මොහුගේ පවතින විවිධ විනය විරෝධී සහ සාපරාධී වැරදි ක්‍රියා කලාපයන් හේතුවෙන් නීත්‍යානුකූල බිරිඳ ඔහුව අතහැර දමා පසුව විදේශ රැකියාවකට පිටත්ව ගොස් ඇත. එම දරුවා දැනට පසුවන්නේ කිනම් ස්ථානයකද යන්න පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව ද සැකකරුගේ පවුලේ සාමාජිකයන් පොලීසියට ප්‍රකාශ කර තිබේ.

සැකකරු මේ වන විට විවිධ ව්‍යාජ වේශයන් මවාගනිමින් ප්‍රදේශ කිහිපයක සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇති අතර, ඔහු පිළිබඳව හෝ ඔහුගේ අනියම් බිරිඳ පිළිබඳව කිසියම් හෝ තොරතුරක් වෙතොත් වහාම පොලීසිය වෙත දැනුම් දෙන ලෙස විමර්ශන නිලධාරීන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. එමෙන්ම, මෙම අත්අඩංගුවට ගැනීමට සොයන ව්‍යාජ මෘදුකාංග ඉංජිනේරුවරයාට සහ ඔහුගේ අනියම් බිරිඳට නවාතැන් දෙමින්, ඔවුන්ව සඟවා තබා ගැනීමට රැකවරණය සලසන ඕනෑම පුද්ගලයෙකු හෝ පිරිසක් වෙතොත් ඔවුන් ද වහාම අත්අඩංගුවට ගෙන තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් අවධාරණය කළේය.

මෙම භෞත චිකිත්සකවරියගේ මරණය ගෙල වැලලා ගැනීමකින් සිදුවූවක් ද, නැතහොත් සැකකරු විසින් ඇයව ගෙල සිරකර මරා දැමුවේ ද යන්න මෙතෙක් ස්ථිරවම හෙළි වී නොමැති අතර, ගෙල සිරවීමකින් මරණය සිදුව ඇති බවට පොලීසිය සැක කරයි. මියගිය තරුණියගේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් මරණයට නිශ්චිත හේතුව නිවැරදිව තහවුරු කර ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාසය පළ කරයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ස්ථාන 10 කට ආසන්න ප්‍රමාණයක් වටලා පරීක්ෂණ පැවැත්වුවද, මෙතෙක් ඔහු පිළිබඳ නිශ්චිත තොරතුරක් ලැබී නොමැති අතර පරීක්ෂණ තවදුරටත් වේගවත් කර ඇත.

මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ සහ නුවරඑළිය දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සංදරසිරි මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම විමර්ශන ක්‍රියාත්මකය. නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා මහතාගේ සහ නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි (I) චන්දන බස්නායක මහතාගේ සෘජු උපදෙස් සහ මෙහෙයවීම මත පරීක්ෂණ සිදුවේ. නුවරඑළිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් මහතා ඇතුළු විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකාර පුද්ගලයා සහ අනියම් බිරිඳ කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවා රාත්‍රී නොබලා පුළුල් විමර්ශන ජාලයක් ක්‍රියාත්මක කරමින් සිටී.

champika-dineth-runs-away-with-her-family---dont-even-mention-that-brother

champika-dineth-runs-away-with-her-family---dont-even-mention-that-brother