
පාසල් දරු දැරියන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව ඉහළ නැංවීම සහ ඔවුන්ට පෝෂණ ගුණයෙන් සපිරි ආහාර වේලක් සහතික කිරීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම නව වැඩපිළිවෙළ යටතේ පාසල් ආපනශාලා තුළ අලෙවි කරනු ලබන ආහාර වර්ග දැඩි ලෙස නියාමනය කිරීමට බලධාරීන් තීරණය කර ඇත.
ඒ අනුව සිසුන්ගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල කළ හැකි සොසේජස්, මීට්බෝල්ස්, බේකන්, හැම්, බර්ගර් මෙන්ම හොට් ඩෝග් වැනි සකස් කරන ලද මස් නිෂ්පාදන පාසල් තුළ විකිණීම සහමුලින්ම තහනම් වේ. මීට අමතරව පීසා, පේස්ට්‍රි, ඩෝනට්ස්, එක්ලෙයාර්ස්, බිස්කට් සහ කේක් වැනි බේකරි නිෂ්පාදන ද, ක්ෂණික නූඩ්ල්ස්, ටින් කළ අච්චාරු, චුවින්ගම්, ටොෆි, ලොලිපොප්, පුඩිං සහ අයිස්ක්‍රීම් වැනි දෑ ද මෙම තහනම් ලැයිස්තුවට ඇතුළත් කර ඇත. තවද බූන්දි, මුස්කට්, දොදොල්, මුරුක්කු ඇතුළු සකස් කරන ලද අනෙකුත් කෙටි ආහාර වර්ග පාසල් පරිශ්‍රය තුළ අලෙවි කිරීම සපුරා තහනම් වන බව අදාළ මාර්ගෝපදේශවල දැක්වේ.
ලුණු, සීනි මෙන්ම සිරුරට අහිතකර මේදය අධික ලෙස අඩංගු මෙවැනි ක්ෂණික හා සකස් කළ ආහාරවලින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම මෙම නියාමනයේ ප්‍රධානතම අභිප්‍රාය වී තිබේ. මෙම නීති රීතිවලට අනුකූලව කටයුතු කිරීමට පාසල් බලධාරීන් සහ ආපනශාලා හිමියන් බැඳී සිටින අතර, මෙම නියෝග නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා අඛණ්ඩව වැටලීම් සහ පරීක්ෂාවන් සිදු කිරීමට ද කටයුතු යොදා ඇත.
හඳුන්වා දී ඇති නව සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කරන ආපනශාලාවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වේ. පාසල් තුළ අතිශය පිරිසිදු මෙන්ම ආරක්ෂිත වටපිටාවක් පවත්වාගෙන යාම අනිවාර්ය වන අතර, ආහාර පිළියෙළ කිරීමේ නිරත සේවකයන් උපරිම අයුරින් පෞද්ගලික සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් වගකීමෙන් යුතුව සේවය කළ යුතු බවට ද උපදෙස් දී තිබේ.
පාසල් දරුවන් සඳහා ආහාර මෙනු සැලසුම් කිරීමේදී ඔවුන්ගේ රුචිකත්වය මෙන්ම පෝෂණ අවශ්‍යතා සහ දේශීය ආහාර සංස්කෘතිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. කුඩා අවධියේ සිටම දරුවන් තුළ යහපත් ආහාර පුරුදු ඇති කිරීමේ වැදගත්කම අවධාරණය කරන බලධාරීන්, අප රට තුළ පහසුවෙන් සොයාගත හැකි නැවුම් දේශීය ආහාර වර්ග පාසල් ආහාර වේලට වැඩි වශයෙන් එකතු කර ගැනීමට පියවර ගත යුතු බව දන්වා සිටියි.