දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් රෝගය වැළඳුණු බවට සැකකෙරෙන රෝගීන් 237 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි. මෙම රෝගී තත්ත්වයට ගොදුරු වූවන්ගෙන් බහුතරයක් පාසල් වියේ පසුවන දරුවන් වන අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසකට වැළඳී ඇත්තේ වෛරස් ආසාදනයක් හේතුවෙන් හටගත් මෙනින්ජයිටීස් තත්ත්වයක් බව ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය තහවුරු කර සිටී.
මෙම වෛරස් රෝගී තත්ත්වය මුලින්ම හඳුනාගෙන ඇත්තේ පසුගිය අප්‍රේල් මස 15 වනදා මාතර දෙණියාය ප්‍රදේශයෙන් වන අතර, ඉන් අනතුරුව රිකිල්ලගස්කඩ, මහනුවර, බදුල්ල, වැලිමඩ සහ දියතලාව යන ප්‍රදේශවලින් ද මෙවැනිම රෝගීන් වාර්තා වී තිබේ. කෙසේ වෙතත්, ඊයේ (31) දිනය වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේ රෝගීන් 59 දෙනෙකු පමණක් වන අතර සෙසු සියලු දෙනාම සුවය ලබා මේ වන විට නිවෙස් බලා ගොස් ඇත.
උණ ගැනීම, තද හිසරදය සහ වමනය යාම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ ලෙස හඳුනාගෙන ඇති අතර, වෛරස් මෙනින්ජයිටීස් තත්ත්වයක් සහිත රෝගීන් සාමාන්‍යයෙන් දින කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම සුවය ලබන බව වෛද්‍යවරු පෙන්වා දෙති. අපිරිසිදු පානීය ජලය පරිභෝජනය කිරීම නිසා මෙම රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බැවින්, තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර තිබේ.
මේ හේතුවෙන් හැකිතාක් දුරට උණුකර නිවාගත් පිරිසිදු ජලය පමණක් පානය කිරීමට පියවර ගන්නා ලෙසත්, පාසල් සිසුන් තමන් රැගෙන එන ආහාර පාන එකිනෙකා අතර හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් සහ දරුවන්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම පානීය ජල මූලාශ්‍රවල පිරිසිදුභාවය සහ ආරක්ෂිත බව සහතික කිරීම කෙරෙහි වගකිවයුතු බලධාරීන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු බවද අවධාරණය කෙරේ. පවතින තත්ත්වය ක්‍රමවත්ව මර්දනය කිරීම සඳහා මේ වන විටත් විශේෂ කමිටු කිහිපයක් පත් කර ඇති බැවින්, ජනතාව මේ පිළිබඳව අනවශ්‍ය ලෙස බියට පත් නොවී සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන උපදෙස් නිසි පරිදි අනුගමනය කළ යුතු බව රජය දැනුම් දෙයි.
