the-bodies-of-all-the-three-students-who-went-missing-in-hungama-were-found

වෙසක් පුර පසළොස්වක පෝය දිනය යෙදී තිබූ පසුගිය 30 වැනිදා හුංගම කලමැටිය මුහුදු තීරයේ විනෝදයට දිය නෑමට ගොස් සැඩ රළ පහරකට හසුවීමෙන් අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගේ මළ සිරුරු මුහුදු වෙරළට ගොඩගසා තිබියදී 31 වැනිදා උදෑසන සොයාගත් බව හුංගම පොලීසිය පවසයි.




මෙම ඛේදනීය ඉරණමට ගොදුරු වී ඇත්තේ හුංගම තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 12, 17 සහ 18 යන වයස්වල පසුවූ දරුවන් තිදෙනෙකි. ඉන් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරයන් වන අතර, ඔවුන් හුංගම තුඩුව අංක 84/ඒ ලිපිනයේ පදිංචි 17 හැවිරිදි ආර්. පී. අශාන් දුලංජන සහ 12 හැවිරිදි ආර්. පී. තුෂාන් දිලූෂ ලෙස හඳුනාගෙන ඇත. මියගිය අනෙක් සිසුවා වන්නේ හුංගම තුඩුව අංක 104/1 ලිපිනයේ පදිංචිව සිටි 18 හැවිරිදි ඩබ්ලිව්. ජී. පසිඳු හේෂාන් නැමැත්තායි.

මෙම සිසුන් තිදෙනාම හුංගම විජයබා ජාතික පාසලේ 7, 12 සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යාපනය ලබමින් සිටි අය වෙති. අනතුර සිදුවූ අවස්ථාවේදී මෙම තිදෙනා සමග තවත් තරුණයෙකු ද දිය නෑමට එක්ව සිට ඇති නමුදු, ඔහු සැඩ රළ පහරින් බේරී දිවි ගලවාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.




අනතුර සිදුවූ වහාම අතුරුදන් වූ සිසුන් සොයා හුංගම පොලීසිය, තංගල්ල නාවික හමුදා කඳවුරේ නිලධාරීන්, තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව දැවැන්ත සෙවීමේ මෙහෙයුමක් දියත් කරනු ලැබීය. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී ඔවුන් සොයාගැනීමට නොහැකි වූ අතර, පසුව සිදුකළ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස 31 වැනිදා උදෑසන කාලයේදී මෙලෙස වෙරළට ගොඩගසා තිබියදී මළ සිරුරු හමුවී තිබේ.

the-bodies-of-all-the-three-students-who-went-missing-in-hungama-were-found