unp-pvt-who-trafficked-dubai-and-moldova-jobs-mp-dubai-sudda-arrested

සංචාරක වීසා උපයෝගී කරගනිමින් ශ්‍රී ලාංකිකයින් ඩුබායි සහ මොල්ඩෝවා යන රටවල රැකියා සඳහා යැවීමේ නීතිවිරෝධී ජාවාරමක නිරත වූ රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් 'ඩුබායි සුද්දා' නැමැත්තා අද (01) අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් කඩුවෙල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.




ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් මත මෙම වැටලීම දියත් කර ඇත. අදාළ පැමිණිලිකරුට ඩුබායි රාජ්‍යයේ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ හතක මුදලක් ලබා ගෙන වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි. විදේශගතව සිට නැවත දිවයිනට පැමිණ කඩුවෙල ප්‍රදේශයේ සැඟවී සිටියදී ඔහුව අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් උත්සාහ කළ අවස්ථාවේදී, සිය පෞද්ගලික මෝටර් රථයෙන් පළා යාමට උත්සාහ කළද එය ව්‍යර්ථ කරමින් සැකකරු කොටුකර ගැනීමට විමර්ශන නිලධාරීහු සමත් වූහ.

මෙම සැකකරු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වීම විශේෂත්වයකි. ඔහු සිය ජාවාරම පවත්වාගෙන යාම සඳහා ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. සංචාරක වීසා හරහා පුද්ගලයින් ඩුබායි වෙත යවන ප්‍රධානතම ජාවාරම්කරුවෙකු ලෙස මොහු සැලකෙන අතර, මීට පෙර අවස්ථාවකදීද විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි පුද්ගලයෙකි.




අත්අඩංගුවට පත් වූ සැකකරු හෙට (02) දිනයේදී කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරන්නේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවා ගැනීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක් බවයි. යම් හෙයකින් මෙම පුද්ගලයාගේ වංචනික ක්‍රියාවන්ට හසුවී මුදල් ලබා දුන් අයෙකු සිටී නම්, ඒ පිළිබඳව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 011 288 2229 යන දුරකථන අංකය අමතා තොරතුරු දැනුම් දෙන ලෙස බලධාරීහු මහජනතාවට දන්වා සිටිති.