
රත්මලාන ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසලකින් රුපියල් 5,292ක් වටිනා භාණ්ඩ රැසක් සොරාගත් බවට සැකපිට 47 හැවිරිදි නීතිඥවරියක් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් ඉකුත් 18 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අලුත්කඩේ අධිකරණයේ සේවය කරන සහ කොළඹ ප්‍රදේශයේ වාණිජ බැංකුවක නීති අංශයට අනුයුක්තව කටයුතු කරන මෙම සැකකාරිය, ඇයගේ නීතිඥ හැඳුනුම්පතේ පන්නිපිටිය ලිපිනයක් සඳහන් කර තිබුණද දැනට රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටින්නියකි.
අදාළ කාන්තාව සාමාන්‍ය පාරිභෝගිකයෙකු මෙන් සුපිරි වෙළෙඳසලට ඇතුළු වී විවිධ භාණ්ඩ හොර රහසේ ඇය සතු අත්බෑගයට දමාගන්නා ආකාරය එහි ආරක්ෂක නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත. පසුව එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ දර්ශන පරික්ෂා කිරීමෙන් මෙම සොරකම තහවුරු කරගත් වෙළෙඳසල් කළමනාකාරීත්වය ඇයව එතැනම රඳවා තබා ගැනීමට පියවර ගෙන ඇති අතර, මේ පිළිබඳව ආයතනයේ නියෝජ්‍ය කළමනාකාරවරිය විසින් වහාම ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
ලැබුණු පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක ගිහාන් මහතා සහ කාන්තා පොලිස් කොස්තාපල් භාග්‍යා (11952) මහත්මිය ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකාරිය වෙළෙඳසලෙන් පිටවීමට උත්සාහ කරන අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත. එහිදී පොලිස් කාන්තා නිලධාරිනිය විසින් ඇයගේ අත්බෑගය පරීක්ෂා කිරීමේදී සඟවා තිබූ එළු මස් ග්‍රෑම් 250ක්, කුකුළු මස් ග්‍රෑම් 520ක්, බදින ලද වියළි කජු ග්‍රෑම් 100ක්, ලන්ච් ෂීට් පනහක් අඩංගු පැකට්ටුවක් සහ දත් බුරුසුවක් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකාර නීතිඥවරිය ඉකුත් 17 වැනිදා ද මෙම සුපිරි වෙළෙඳසලෙන්ම මාළු සොරාගෙන ගොස් ඇති බවයි. බස්නාහිර දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත වීරසේකර මහතාගේ ඍජු අධීක්ෂණය සහ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත, ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරනු ලබයි.
