lawsuits-for-those-who-said-fake-in-ruwanweli-sadadeye

අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ වත්මන් කොත ඉවත් කර ඒ වෙනුවට ව්‍යාජ කොතක් සවිකර ඇති බවට පළ වූ පුවත්පත් දැන්වීමක් පදනම් කරගනිමින් යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් කරුණු අනාවරණය කළ පුද්ගලයෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජූලි මස 7 වැනිදා දක්වා කල් තැබීමට ගම්පහ මහාධිකරණ අංක දෙක අධිකරණය තීරණය කර තිබේ.

ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, එදිනට අදාළ නඩුවට සම්බන්ධ සියලුම ලේඛන සහ නඩු භාණ්ඩ අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට නියම කර ඇත.

මීට අමතරව මෙම නඩුවේ පැමිණිල්ලේ 7 වැනි සාක්ෂිකරු වෙත නොතීසි නිකුත් කිරීමට ද විනිසුරුවරිය පියවර ගෙන තිබේ.




අදාළ යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාව හරහා සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් එවකට අටමස්ථානාධිපති ධුරය හෙබවූ පල්ලේගම හේමරතන නාහිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩු පැවරීම සිදුකර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින්නේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අනුජ ජයසිංහ නමැති අයෙකි. මෙම නඩුවේ මුල් නඩු වාර්තාව ගම්පහ මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ඉකුත් නඩු වාරයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබූ අතර, එම වාර්තාව මේ වන විට මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළේ ඉදිරි නඩු දිනයේදී ඊට අදාළ සියලුම ලියකියවිලි සහ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි. මෙම නඩු විභාගයේදී නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධි නීතිඥ ඉෂාරා ජයරත්න මහත්මිය පෙනී සිටි අතර, විත්තිය වෙනුවෙන් නීතිඥ සඳුන් රණසිංහ මහතා පෙනී සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් මෙහි පැමිණිල්ල මෙහෙයවනු ලබයි.