මහා මාර්ගයේ ධාවනය කිරීමේදී රථවාහන ආලෝක සංඥා නීති උල්ලංඝනය වීමක් හේතුවෙන් දඩයකට ලක් වූ හිටපු අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, තමන්ට දඩය පැනවූ පොලිස් නිලධාරියා කටයුතු කළ ආදර්ශමත් වෘත්තීයභාවය අගය කරමින් සිය නිල ෆේස්බුක් ගිණුමෙහි විශේෂ සටහනක් තබා තිබේ.
තමන් කොණ්ඩය කපාගෙන නැවත පැමිණෙන ගමනේදී නොදැනුවත්වම මෙම රථවාහන නීතිය උල්ලංඝනය වී ඇති බවත්, ඒ අවස්ථාවේදී එතැනට පැමිණි පොලිස් නිලධාරියා අදාළ වරද වෙනුවෙන් දඩ පත්‍රිකාවක් නිකුත් කළ බවත් ඒ මහතා පවසයි. එහිදී එම නිලධාරියා අතිශය ආචාරශීලී ලෙස කටයුතු කරමින්, 'GovPay' විද්‍යුත් පද්ධතිය ඔස්සේ එම ස්ථානයේදීම දඩ මුදල ගෙවා දැමීමට තමන්ට මඟපෙන්වූ ආකාරය ඔහු විස්තර කර ඇත.
මෙම සිදුවීමේදී තමන්ගේ විශේෂ අවධානයට ලක් වූයේ දඩය නොව, සමස්ත ක්‍රියාවලියම හැසිරවීමට පොලිස් නිලධාරියා උපයෝගී කරගත් වෘත්තීයවේදීත්වය බව අලි සබ්රි මහතා සඳහන් කරයි. තාක්ෂණයේ සහාය ඇතිව කිසිදු අනවශ්‍ය ප්‍රමාදයකින් හෝ කලකිරීමකින් තොරව, මිනිත්තු කිහිපයක් ඇතුළත දඩය ගෙවා තමන්ගේ රියදුරු බලපත්‍රය නැවත ලබාගැනීමට හැකි වූ බවත්, වෘත්තීයභාවය, ආචාරශීලීත්වය සහ තාක්‍ෂණය නිවැරදිව මුසුවීම මෙයින් මනාව පැහැදිලි වන බවත් ඔහු පෙන්වා දෙයි.
මහජන සේවාවන් ඉහළ නැංවීම සඳහා තාක්‍ෂණය භාවිත කිරීම සම්බන්ධයෙන් තමන් අධිකරණ අමාත්‍යවරයාව සිටි සමයේ පොලිසිය ඇතුළු අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ පැවැත්වූ මුල් කාලීන සාකච්ඡා සිහිපත් කරන ඒ මහතා, එදා ආරම්භ කළ එම ප්‍රතිසංස්කරණ අද වන විට පුරවැසියන්ට සැබෑ ප්‍රතිලාභ උදාකර දෙන අයුරු දැකීමෙන් නිහඬ තෘප්තියක් ලබන බව පවසයි. ඕනෑම වටිනා ප්‍රතිසංස්කරණයකට යම් කාලයක් ගත වුවද, රාජ්‍ය සේවය වැඩිදියුණු කිරීමට ගන්නා අවංක උත්සාහයන් කිසිදා අපතේ නොයන බවට මෙය කදිම නිදසුනක් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
රාජ්‍ය පරිපාලනයේ සිදුවන වැරදි පිළිබඳව නිතර අවධානය යොමු කරන සමාජයක, හොඳින් ක්‍රියාත්මක වන දේ අගය කිරීම ද ඒ හා සමානවම වැදගත් වන බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා, රාජ්‍ය නිලධාරියෙකු නිපුණතාවයෙන්, අවංකභාවයෙන් හා ගෞරවයෙන් යුතුව රාජකාරිය ඉටුකිරීමේ වැදගත්කම මෙම සරල සිදුවීමෙන් මනාව පැහැදිලි වන බව සඳහන් කරයි. ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසියට, 'GovPay' වැඩපිළිවෙළට මෙන්ම විශේෂයෙන්ම ඉතා ආදර්ශමත් ලෙස මෙම සිදුවීම හැසිරවූ පොලිස් නිලධාරියා වෙත සිය ප්‍රශංසාව පිරිනමන බව අලි සබ්රි මහතා සිය සටහන මඟින් අවධාරණය කර ඇත.
