kapila-who-was-granted-bail-did-not-meet-before-his-death---exchange-of-views-through-aravinda---lawyers-testify

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ කොල්ලුපිටිය පේද්‍රිස් මාවතේ පිහිටි නිවසේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා ගෙල වැලලාගෙන මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ ඊයේ (05) කැඳවනු ලැබීය. එහිදී කොල්ලූපිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් කුමාරසිරි බණ්ඩාර සිලෝගම මහතා අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ, පොලිසියට ලද දුරකථන ඇමතුමක් මත අදාළ නිවසට යන විටත් චන්ද්‍රසේන මහතා මියගොස් සිටි බවයි.

කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍යවරියක විසින් ද එම මරණය ඒ වන විටත් සනාථ කර තිබූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.




කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක ජයන්ත ලාල් සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සිද්ධිය වූ ස්ථානය පිළිබඳව දීර්ඝ ලෙස විස්තර කළේය. ඒ අනුව, උදෑසන 8.42 ට පමණ පොලිස් කණ්ඩායම අදාළ තෙමහල් නිවසට යන විට අරවින්ද ද සිල්වා මහතා, ඔහුගේ බිරිඳ, නීතිඥ ප්‍රියන්ත මහතා සහ ඩර්ඩන්ස් රෝහලේ වෛද්‍ය ලක්ෂානි ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් එහි සිට ඇත. මියගිය පුද්ගලයාගේ සිරුර පළමු මහලේ වම් පස කාමරයේ තිබී ඇති අතර, විදුලි බුබුළු දල්වා තිබූ එම කාමරයේ පුටුවක් මත හිස තබාගෙන සිටි අයුරින් සිරුර හමුවී තිබේ. ඔහුගේ ගෙලෙහි ලා නිල් පැහැති පටියක් සිරවී තිබූ අතර, මැහුම් ගැලවී ගිය එහි එක් කොටසක් නාන කාමරයේ දොරෙහි ඉහළ කොටසේ සිරවී තිබෙන අයුරු පොලිසිය නිරීක්ෂණය කර ඇත. එම කාමරයට ඇතුළු වීමට තිබී ඇත්තේ එක් දොරක් පමණක් බවත්, ජනෙල් වසා තිබූ බැවින් බාහිර පුද්ගලයෙකු ඇතුළු වූ බවට කිසිදු සාක්ෂියක් එහි නොතිබූ බවත් පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නේය.

අනතුරුව, මියගිය කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩුවකදී පෙනී සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සාක්ෂි ලබා දුන්නේය. චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් තමන්ට කිසිදු පූර්ව අවබෝධයක් නොතිබූ බව පැවසූ ඒ මහතා, 2026 මැයි 5 වන දින අදාළ නඩුවට අදාළව සිය සේවාදායකයාට ඇප නියම වූ බව සිහිපත් කළේය. එහිදී රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ශරීර ඇප ලබා දී තිබුණද, ග්‍රාම සේවා සහතික නිසි පරිදි නොමැති වීම හේතුවෙන් ඇප තැබීමේ ක්‍රියාවලියට බාධා මතු වී තිබේ. ඉන් අනතුරුව මැයි 7 වන දින චන්ද්‍රසේන මහතාට එරෙහිව වරෙන්තුවක් නිකුත් වී ඇති බව මාධ්‍ය හරහා දැනගත් පසු, අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් තම කාර්යාලයට පැමිණ ඒ පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති නීතිඥවරයා පැවසීය. එහිදී දුරකථනය හරහා කපිල චන්ද්‍රසේන මහතා සම්බන්ධ කරගනිමින්, වහාම අධිකරණයට භාර වී සිදුවූ දේ පවසන ලෙස තමන් ඔහුට දැඩිව උපදෙස් දුන් බවද අර්සකුලරත්න මහතා කියා සිටියේය.




මෙම නඩුව සම්බන්ධයෙන් කනිෂ්ඨ නීතිඥවරයෙකු ලෙස කටයුතු කළ නීතිඥ උදාර මුහන්දිරම් මහතා ද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය. ඔහු සඳහන් කළේ, තමන් ජනාධිපති නීතිඥවරයාගේ උපදෙස් මත පමණක් කටයුතු කළ බවත්, රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 3ක් සහ ලක්ෂ 5ක මුදල් ඇපයක් නියම වී තිබූ අවස්ථාවේදී, ඇපකරුවන්ගේ ග්‍රාම නිලධාරී සහතිකවල පැවති විවිධ අඩුපාඩු හේතුවෙන් අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය විසින් ඇතැම් ඇපකරුවන් ප්‍රතික්ෂේප කළ බවත්ය. කපිල චන්ද්‍රසේන මහතාට වරෙන්තුවක් නිකුත් වී ඇති බව තමන් මාධ්‍යයෙන් දුටු බවත්, මැයි 7 වනදා ඔහු දුරකථනයෙන් සම්බන්ධ වූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයාගෙන් විමසා උපදෙස් ලබා දීමට කටයුතු කළ බවත් මුහන්දිරම් මහතා විස්තර කළේය. කෙසේ වෙතත්, අරවින්ද ද සිල්වා මහතා සමඟ පැවති නීතිඥ සාකච්ඡාවලදී තමන් චන්ද්‍රසේන මහතා සමඟ සෘජුව අදහස් හුවමාරු කර නොගත් බව ඔහු වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ මෙම සියලු සාක්ෂි සලකා බැලූ අධිකරණය, වැඩිදුර සාක්ෂි විභාගය ලබන 09 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය.