
නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් වැලිකඩ පොලිසියේ මුදල් සහ ඊට අදාළ පොත්පත් පරීක්ෂා කිරීම සඳහා පැමිණි ගණකාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් රාජකාරියේ නිරත වන අතරවාරයේ, මුදල් සේප්පුවේ යතුර ද රැගෙන පලා ගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත. මෙලෙස රාජකාරි වැඩ තහනමට ලක්ව ඇත්තේ වැලිකඩ පොලිසියේ පාලන අංශයේ රාජකාරි කළ සැරයන්වරයෙකි.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ නියෝගයක් මත මෙම පරීක්ෂාව සංවිධානය කර තිබුණි. ඒ අනුව අදාළ ගණකාධිකාරීවරයා සහ කාර්යාල නිලධාරීන් ඉකුත් 03 වැනිදා වැලිකඩ පොලිස් ස්ථානයේ අදාළ පරීක්ෂාව සඳහා පැමිණ ඇත. එම පරීක්ෂාව සිදුවන බව කල්තියා දැනගත් අදාළ සැරයන්වරයා කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ අවසරයකින් තොරව සේප්පුවේ යතුර ද රැගෙන පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් පසුදින අදාළ සැරයන්වරයා යළිත් පොලිස් ස්ථානය වෙත පැමිණ තිබේ. එහිදී සිදුකරන ලද වැඩිදුර විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, සේප්පුව තුළ සුරක්ෂිතව තැබිය යුතු රුපියල් 161,245 ක මුදලක් එහි නොතබා වෙනත් කාමරයක තිබූ අල්මාරියක සඟවා තිබූ බවයි.
රජයේ මුදල් නිසි අවසරයකින් තොරව නියමිත සේප්පුවේ තැන්පත් නොකොට වෙනත් ස්ථානයක තැබීම සහ විමර්ශනයක් සිදුවෙමින් පවතින අතරතුර ඒ බව නොදන්වා අවසරයකින් තොරව පොලිස් ස්ථානයෙන් බැහැරව යාම යන කරුණු මත මෙම විනය පියවර ගෙන තිබේ. ඒ අනුව සහකාර පොලිස් අධිකාරී (03) බී.එල්.ඒ. ප්‍රසන්න මහතා විසින් අදාළ සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමේ නියෝගය නිකුත් කර ඇත.
