ඌබර් සහ පික්මී වැනි ඩිජිටල් ප්‍රවාහන සේවා මඟින් මගීන්ගෙන් අය කරනු ලබන සමස්ත ගාස්තුව මත වැට් (VAT) බදු පැනවීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන ඇති උත්සාහය සම්පූර්ණයෙන්ම වැරදි බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ බදු පැනවීම සිදු කළ යුත්තේ අදාළ සමාගම් ලබාගන්නා කොමිස් මුදලට පමණක් බවයි.
සමස්ත මුදලටම මෙලෙස බදු පැනවීම හරහා සාමාන්‍ය කුලී රථ සහ ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයේ නියැලෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැඩි ලෙස අසරණ වන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ද අවධාරණය කරයි.ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඩිජිටල් බදුකරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් නිලධාරීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර උණුසුම් සංවාදයක් හටගත්තේ හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ කාරක සභා රැස්වීමකදීය. එහිදී සභාපතිවරයා ප්‍රායෝගික උදාහරණයක් දක්වමින් ප්‍රශ්න කර සිටියේ පාර්ලිමේන්තුවේ සිට නාවල හන්දිය දක්වා ඌබර් හෝ පික්මී රථයකින් ගමන් කිරීම සඳහා රුපියල් 300ක මුදලක් වැය වන්නේ නම්, ඒ සඳහා වැට් බද්ද ගණනය කරන්නේ කෙසේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කළේ අදාළ ඩිජිටල් වේදිකාව සේවා සපයන්නා ලෙස සලකන බැවින්, එම රුපියල් 300ක සම්පූර්ණ ගාස්තුව ඇතුළතින් සියයට 18ක වැට් බද්ද ගණනය කර අය කරගත යුතු බවයි.
කෙසේ වෙතත්, නිලධාරීන්ගේ එම ස්ථාවරය ප්‍රතික්ෂේප කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ මෙම ක්‍රියාවලිය තුළ පැහැදිලි සේවාවන් දෙකක් පවතින බවයි. වාහනයේ ලීසිං වාරික ගෙවීම, ඉන්ධන පිරවීම සහ ධාවනය කිරීම ඇතුළු සියලු බරපැන දරන්නේ රියදුරා විසින් වන අතර, ඌබර් වැනි සමාගම් සිදු කරන්නේ මෘදුකාංගයක් මඟින් ඉල්ලුම සහ සැපයුම සම්බන්ධ කිරීම පමණක් බව ඔහු පැවසීය. සමාගම සතුව කිසිදු වාහනයක් නොමැති පසුබිමක, රියදුරා සපයන සේවාවද ඇතුළත් කර සමස්ත රුපියල් 300ක මුදලටම වැට් බදු පැනවීම අසාධාරණ බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් පෙන්වා දුන්නේ, අතීතයේ ලීසිං සමාගම් වාහනය ලබා නොදී මූල්‍ය පහසුකම සැපයීම සේවාවක් ලෙස සැලකූ පරිදි, මෙම සමස්ත ක්‍රියාවලියේ වටිනාකම වන රුපියල් 300ම බද්දට යටත් කළ යුතු බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රුපියල් 300ක ගාස්තුවකින් රුපියල් 280ක්ම හිමිවන්නේ බාහිරින් සම්බන්ධ වන රියදුරාට වන අතර, සමාගමේ සැබෑ පිරිවැටුම වන්නේ රුපියල් 20ක් හෝ 50ක් වැනි කොමිස් මුදල පමණක් බවයි. රියදුරා උපයන රුපියල් 250ක මුදල බද්දට යටත් විය යුත්තේ ඔහුගේ පෞද්ගලික ආදායම බදු සීමාව ඉක්මවා ගියහොත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයක් ලෙස පමණක් බවත්, වැට් බද්ද පැනවිය යුත්තේ සමාගමේ මෘදුකාංග කොමිස් මුදලට පමණක් බවත් කාරක සභාව තුළදී ප්‍රකාශ විය.
මේ අතර, මෙරට පවතින ත්‍රිරෝද රථ මිලියන 1.3කගේ ඉන්ධන දීමනාව සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී කරුණු මතු විය. ඉන්ධන දීමනාව ලබාගැනීම සඳහා තමන්ට දිනකට ලක්ෂයක පිරිවැටුමක් ඇතැයි ඇතැම් ත්‍රිරෝද රථ හිමියන් ප්‍රකාශ කර තිබීම හේතුවෙන්, ඔවුන් නොදැනුවත්වම වැට් බද්දට යටත් වීමේ නීතිමය අවදානමක් පවතින බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. සාමාන්‍ය ත්‍රිරෝද රථ හිමියන් මෙලෙස වැට් බදු ගෙවන තැනට පත්වන ආකාරයෙන් කටයුතු නොකර, මෙම බදු ව්‍යුහය නිවැරදිව වෙන් කරගන්නා ලෙස හර්ෂ ද සිල්වා මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මීට පෙර දේශීය මෘදුකාංග වැට් බද්දෙන් නිදහස් කර තිබූ අවධියේ, ඇතැම් සමාගම් තමන් සපයන්නේ මෘදුකාංගයක් යැයි පවසමින් බදු නොගෙවා සිටීමට උත්සාහ කිරීම නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු තක්සේරු නිකුත් කර තිබූ බවද මෙහිදී අනාවරණය විය. නිලධාරීන් සඳහන් කළේ අදාළ සමාගම් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවට ගියද, මෙය මෘදුකාංග සැපයීමක් නොව මෘදුකාංග උපයෝගී කරගනිමින් සිදුකරන සේවාවක් බවට අධිකරණය තීන්දු කළ බවයි. එමෙන්ම 2019 වසරේදී තොරතුරු තාක්ෂණයෙන් සක්‍රීය කළ සේවාවන් සඳහා ලබා දී තිබූ පුළුල් බදු නිදහස් කිරීම් පසුව සිදුකළ සංශෝධන මඟින් ඉවත් කර ඇති බැවින්, වර්තමානයේ එවැනි කිසිදු බදු සහනයක් ක්‍රියාත්මක නොවන බවද දේශීය ආදායම් නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
