12-of-school-students-are-overweight-and-3-are-obese

මෙරට පාසල් දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් තරබාරුකම ඇතුළු පෝෂණ ගැටලුවලට මුහුණ දී ඇති බව මෑතකදී සිදුකළ සමීක්ෂණ දත්ත මඟින් අනාවරණය වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය පෙන්වා දෙන පරිදි 2024 වසරේ ගෝලීය පාදක පාසල් සෞඛ්‍ය සමීක්ෂණයට අනුව වයස අවුරුදු 13ත් 17ත් අතර පසුවන දරුවන්ගෙන් සියයට 12ක ප්‍රමාණයක් අධිබර තත්ත්වයෙන් ද, සියයට 3ක් ස්ථූලතාවයෙන් ද පෙළෙන බව තහවුරු වී ඇත.

මීට අමතරව 2021 වසරේ දත්තවලට අනුව ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් සියයට 47.6ක් සහ පිරිමින්ගෙන් සියයට 30ක් ද අධිබරින් පෙළෙන බව හඳුනාගෙන තිබේ.




මෙම සෞඛ්‍ය ගැටලු සඳහා ප්‍රධාන වශයෙන් දරුවන්ගේ අයහපත් ආහාර පුරුදු හේතු වී ඇති අතර, සමීක්ෂණ දත්තවලට අනුව දරුවන්ගෙන් සියයට 28.5ක් අධික ලුණු සහිත ආහාර ද, සියයට 29ක් අධික තෙල් සහිත ආහාර ද, සියයට 14ක් අධික සීනි සහිත ආහාර ද දෛනිකව පරිභෝජනය කිරීමට හුරුවී සිටිති. දරුවන් අතර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මෙම තරබාරුකම සහ බෝ නොවන රෝග පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශ එක්ව නවතම වැඩපිළිවෙළක් සැලසුම් කර ඇත. ඒ අනුව 'සෞඛ්‍යවත් පාසල් ආපණ ශාලා මාර්ගෝපදේශය' නමින් නව වැඩසටහනක් ජාතික මට්ටමින් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය විය.

දිවයින පුරා පිහිටි පාසල් 10,046ක අධ්‍යාපනය ලබන ලක්ෂ 39කට ආසන්න ශිෂ්‍ය ප්‍රජාව ඉලක්ක කරගනිමින් මෙම මාර්ගෝපදේශය හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පී. සුදර්ශන පීරිස් මහතා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයාගේ අත්සනින් යුතුව නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, එය 2026 වසරේ සිට බලාත්මක වීමට නියමිතය. මෙම චක්‍රලේඛය මඟින් පාසල් ආපණ ශාලාවල අලෙවි කළ හැකි සහ අලෙවි කිරීම තහනම් කර ඇති ආහාර වට්ටෝරු ප්‍රධාන කොටස් දෙකක් යටතේ පැහැදිලිව දක්වා තිබේ.




නව මාර්ගෝපදේශාවලිය යටතේ පාසල් දරුවන් සඳහා පෝෂ්‍යදායී මෙන්ම පිරිසුදු ආහාර ලබාදීම, නිවැරදි ආහාර පුරුදු ප්‍රවර්ධනය කිරීම සහ පාසල් පරිශ්‍රය හෝ ආපණ ශාලාව තුළ අහිතකර ආහාර අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සිදු කෙරේ. තවද පාසල් ආපණ ශාලා නියමිත ප්‍රමිතීන්ට අනුව A, B සහ C ලෙස ශ්‍රේණිගත කිරීමටත්, එම ප්‍රමිතීන්ට අනුගත නොවන ආපණ ශාලා හිමියන් අසාදු ලේඛනගත කිරීමටත්, දරුවන්ට හිතකර නව ආහාර වට්ටෝරු හඳුන්වා දීමටත් පියවර ගැනෙනු ඇත. ජාතික පෝෂණ මාසය ලෙස සැලකෙන ජූනි මාසයට සමගාමීව මෙම නව මාර්ගෝපදේශය එළඹෙන 22 වැනිදා කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ජනගත කිරීමට නියමිතව තිබේ.