හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ ඊයේ (9) උදෑසන 6.57 ට පමණ ජාඇල, කපුවත්ත සහ කඳාන දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති හල්පේන දුම්රිය හරස් මාර්ගයේදීය.
අනතුරින් මියගොස් ඇත්තේ එකම පවුලේ ඥාතීන් වන නැන්දම්මා සහ බෑනා බවට කඳාන පොලිසිය විසින් හඳුනාගෙන ඇත. ඒ අනුව ත්‍රිරෝද රථය පැදවූ වයස අවුරුදු 52ක් වූ ලියනාරච්චිගේ දොන් නීල් ලක්ෂ්මන් නමැති අය සහ එහි ගමන් කළ වයස අවුරුදු 71ක් වන කුලසිංහ ආරච්චිගේ ඊටා නමැති කාන්තාව මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මියගිය කාන්තාව ජාඇල, ඒකල, නව ජොසිටා වත්තේ අංක 171 දරණ නිවසේ පදිංචිකාරියකි.
පොලිස් විමර්ශන වලදී තහවුරු වී ඇති ආකාරයට, මෙම අනතුරට ප්‍රධාන හේතුව වී ඇත්තේ රියදුරුගේ නොසැලකිලිමත්භාවයයි. දුම්රිය හරස් මාර්ගයේ විදුලි සංඥා සහ සීනු නාද වෙමින් පවතිද්දී, එලෙසම දුම්රියක් ළඟා වන බව පැහැදිලිව පෙනෙන්නට තිබියදීත් ඔහු ත්‍රිරෝද රථය දුම්රිය මාර්ගයට ඇතුළු කර ඇත.
අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් එක්ව බරපතළ තුවාල ලබා සිටි අදාළ පුද්ගලයින් රෝහල්ගත කිරීමට දැඩි උත්සාහයක් ගෙන තිබුණි. එහෙත්, ඔවුන් ලැබූ බරපතළ තුවාල හේතුවෙන් ඒ වන විටත් එම ස්ථානයේම ප්‍රාණය ගොස් තිබූ බව තහවුරු විය. කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.පී.ඒ. ප්‍රියන්ත මහතාගේ මූලිකත්වයෙන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, මියගිය දෙදෙනාගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
