හෝකන්දර ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී අධිබලැති යතුරුපැදි පහක් සහ ව්‍යාජ ලියාපදිංචි අංක තහඩු දෙකක් සමඟ විසිපස් හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (29) මධ්‍යහ්න කාලයේදී මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.
අතුරුගිරිය පොලිස් බලප්‍රදේශයට අයත් හෝකන්දර ප්‍රදේශයේදීම මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි. පොලිස් භාරයට ගත් අධිබලැති යතුරුපැදි සහ ව්‍යාජ අංක තහඩු සමඟ සැකකරු ඉදිරි නීතිමය පියවර සඳහා අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.