
රාජ්‍ය සේවකයන්ට හිමිවන සහනදායී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හෙවත් සීසන් ටිකට් නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමට රජය තීරණය කර ඇත. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, මෙම නව ක්‍රමය යටතේ එළඹෙන ජූලි මාසයේ සිට අදාළ වාර ප්‍රවේශපත්‍ර www.pravesha.lk යන වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමයට ලබාගැනීමේ පහසුකම උදාවේ.
මෙම නව ඩිජිටල් පහසුකම ලබා ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට ඉහත වෙබ් අඩවියට අමතරව විශේෂ ජංගම දුරකථන යෙදවුමක් ද භාවිත කළ හැකිය. ඒ අනුව, තම සේවා ආයතනයේ අදාළ සම්බන්ධීකරණ නිලධාරීන් හරහා මෙම පද්ධතියේ ලියාපදිංචි වීමට රාජ්‍ය සේවකයන්ට අවස්ථාව සලසා ඇති අතර, එළඹෙන ජූලි මාසය සඳහා වන වාර ප්‍රවේශපත්‍ර ඉල්ලුම් කිරීම 2026 ජූනි මස 15 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත්, තම නිලධාරීන්ට මෙම පහසුකම ලබාදීමට ප්‍රථමයෙන් සියලුම රාජ්‍ය ආයතන අදාළ ප්‍රවේශ පද්ධතිය තුළ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇත. ඊට අදාළ නිල ලියාපදිංචි කිරීමේ කටයුතු ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති විශේෂ උත්සවයකදී ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම ඩිජිටල්කරණ වැඩසටහන දියත් කරනු ලබයි. රාජ්‍ය අංශයේ සේවාවන් ඩිජිටල්කරණයට ලක් කිරීම, දුම්රිය සේවාවේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සහ මගී ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණු බවට පත්ව ඇත.
මෙම සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, රජය මේ වන විට රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙනැවිත් ඇති බවත්, රාජ්‍ය සේවකයන්ගේ සුබසාධනය ඉහළ නැංවීමට මෙන්ම සමස්ත රාජ්‍ය සේවයම ශක්තිමත් කිරීමට රජය අඛණ්ඩව පියවර ගන්නා බවත්ය.
