due-to-the-new-surcharge-the-price-of-the-alto-has-increased-by-5-lakhs-to-yaris-75-lakhs

වාහන ආනයනයේදී පනවනු ලබන අධිභාරය සියයට 50 ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. පසුගිය 15 වැනිදා සිට මාස තුනක කාලසීමාවක් සඳහා බලාත්මක වන පරිදි ක්‍රියාත්මක කර ඇති මෙම බදු සංශෝධනය හේතුවෙන් ඉදිරියේදී මෙරට වාහන මිල ගණන් නිසැකවම ඉහළ යන බව වාහන ආනයනකරුවෝ පවසති.

මෙමඟින් ක්ෂේත්‍රයට ඍජු මෙන්ම වක්‍ර බලපෑම් රැසක් එල්ල වී ඇති අතර, වෙළෙඳපොළේ වාහන මිල පහළ ගොස් නොමැති නිසා වැඩි කරන ලද අධිභාරය තනිව දරා ගැනීමට වාහන වෙළෙඳුන්ට නොහැකි වී තිබේ. මේ හේතුවෙන් මධ්‍යම පාන්තිකයන් අතර වඩාත් ජනප්‍රිය කුඩා ප්‍රමාණයේ වාහනවල මිල රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 10 දක්වා වූ අගයකින් ඉහළ යනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.




නව බදු ක්‍රමය යටතේ නව වාහන මුදා හැරීමේදී කුඩා මෝටර් රථයක් සඳහා වුවද රුපියල් ලක්ෂ 5ත් 10ත් අතර අමතර මුදලක් බදු ලෙස ගෙවීමට වාහන වෙළෙඳුන්ට සිදුව ඇත. මෙම පිරිවැය අවසානයේදී පාරිභෝගිකයාගෙන් අය කර ගැනීමට සිදුවීම නිසා වාහන මිල ඉහළ යෑම වැළැක්විය නොහැකි බව ඔවුහු ප්‍රකාශ කරති. ඒ අනුව, වර්තමානය වන විට රුපියල් ලක්ෂ 70ක පමණ මුදලකට අලෙවි කෙරෙන ජපන් ඇල්ටෝ රථයක මිල රුපියල් ලක්ෂ 75ක් දක්වා වැඩි වීමට නියමිතය. එමෙන්ම රුපියල් ලක්ෂ 100කට පමණ අලෙවි වන ටොයෝටා යාරිස් වර්ගයේ මෝටර් රථයක මිල ද තවත් රුපියල් ලක්ෂ 7.5කින් පමණ ඉදිරියේදී ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන් විසින් පෙන්වා දී තිබේ.

මේ අතර ඉන්දියාවේ සිට වාහනයක් මෙරටට ගෙන්වීම සඳහා ගත වන්නේ සති දෙකක වැනි කෙටි කාලයක් බැවින්, එරටින් ගෙන්වන ලද වාහනවල මිල ගණන් මේ වන විටත් වෙළෙඳපොළ තුළ ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම නව අධිභාරය පැනවීමට පෙර මෙරටට ආනයනය කරන ලද වාහනවල මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති බව ද පැවසේ. මේ හේතුවෙන් පැරණි මිල ගණන් යටතේ පවතින වාහන වෙළෙඳපොළේ තිබියදී, අධික මිලක් සහිතව අලුතින් ගෙන්වන වාහන මිලදී ගැනීමට පාරිභෝගිකයන් දැඩි මැළිකමක් දක්වන බව ආනයනකරුවෝ පවසති.




පවතින තත්ත්වය හමුවේ වෙළෙඳපොළේ දැනට පවතින වාහන තොග අලෙවි වී අවසන් වන තෙක් අලුතින් වාහන ආනයනය කිරීමෙන් හැකිතාක් දුරට වැළකී සිටීමට ආනයනකරුවන් තීරණය කර ඇත. මෙම තීරණයේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය 15 වැනිදායින් පසුව වාහන ආනයනය කිරීම වෙනුවෙන් විවෘත කරනු ලබන ණයවර ලිපි (LC) ප්‍රමාණය ද සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවෝ වැඩිදුරටත් සඳන් කරති.