gammanpila-wimal-and-dilith-are-obstructing-the-easter-investigation---cid-informs-the-fort-court

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ දිනවල ක්‍රියාත්මක වන අතිශය සංවේදී සහ තීරණාත්මක විමර්ශන කටයුතු කඩාකප්පල් කිරීමේ අරමුණින් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා හිතාමතාම කටයුතු කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (8) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.




ඒ හරහා ඉදිරියේදී සාක්ෂිකරුවන් විසින් කරුණු හෙළිදරව් කිරීම වැළැක්වීමේ උත්සාහයක ඔහු නිරත වන බව විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ අවධාරණය කළහ. සැකකාර සුරේෂ් සලේ අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ සිට මේ දක්වාම පරීක්ෂණ කටයුතු සඳහා කිසිදු ආකාරයක සාධනීය සහයෝගයක් ලබා දීමෙන් වැළකී සිටින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ අතර, සැකකරු විසින් සිදු කරන ලදැයි පැවසෙන ආහාර වර්ජනය ද විමර්ශන කටයුතු අපහසුතාවයට පත් කිරීම සඳහා සැලසුම් සහගතව සිදු කරන ලද්දක් බවට කරුණු ඉදිරිපත් වී තිබේ. පොලිස් රෝහල මගින් නිකුත් කරන ලද වාර්තාවන්ට අනුව, ඔහු සිය රුධිරයේ සීනි මට්ටම පහළ බසින තෙක්ම චේතනාන්විතවම ආහාර ගැනීමෙන් වැළකී සිට ඇත. පොලිස් රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා විසින් අවස්ථා දෙකකදීම සැකකරුව දැඩි පරීක්ෂාවකට ලක් කර ඔහුගේ සීනි මට්ටම පහළ ගොස් ඇති බව තහවුරු කරගැනීමෙන් අනතුරුව, මහත් වගකීමකින් යුතුව ඔහුව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇත.




මෙම විමර්ශන හරහා ඉතා තීරණාත්මක මෙන්ම වැදගත් කරුණු රැසක් අනාවරණය වෙමින් පවතින පසුබිමක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කෙරෙහි මහජනතාව තුළ දැඩි වෛරයක් සහ අප්‍රසාදයක් ගොඩනැඟීමේ අරමුණින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක දේශපාලන කුමන්ත්‍රණයක් පිළිබඳව ද කරුණු අනාවරණය වී තිබේ. පොලිස් දෙපාර්තමේන්තුවේ විශ්වසනීයත්වය බිඳ දමමින් මහජන විරෝධයක් නිර්මාණය කිරීම සඳහා දියත් කර ඇති මෙම සැලසුම් සහගත මෙහෙයුම පිටුපස දේශපාලන නායකයන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර යන මහත්වරුන් සෘජුවම සම්බන්ධ වී සිටින බව නිරීක්ෂණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ විශේෂ වාර්තාවේ පැහැදිලිවම සඳහන් කර ඇත. සාක්ෂිකරුවන් බිය ගැන්වීම සහ විමර්ශන ව්‍යූහය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම සඳහා මහජනතාව ඒකරාශී කරමින් මෙම නායකයන් විසින් මෙහෙයවන ක්‍රියාදාමය රජයේ පාර්ශ්වයේ ද දැඩි චෝදනාවට ලක්ව තිබේ.