drug-addict-husband-arrested-on-suspicion-of-murdering-kundasale-wife

කුණ්ඩසාලේ, වරාපිටිය ප්‍රදේශයේ පිහිටි සිය ස්වාමිපුරුෂයාගේ නිවසේ පදිංචිව සිටි 23 හැවිරිදි රූමත් තරුණියක වූ හෂිනිකා සමන්මලීගේ හදිසි මරණය හේතුවෙන් මේ වන විට සමාජය තුළ විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන තිබේ. ඉකුත් 20 වැනිදා අලුයම කාලයේදී නිවසේ කාමරයක් තුළ තිබී ඇගේ මළ සිරුර හමු වී ඇති අතර, ඇය ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇති බව 25 හැවිරිදි ස්වාමිපුරුෂයා වන උදේෂ් පෙරේරා ප්‍රකාශ කරයි.

සිරුර දුටු වහාම ගෙල බැඳ තිබූ සාරිය කපා ඇයව ඇඳ මත තැබීමට තමන් කටයුතු කළ බව ඔහු පැවසුවද, මියගිය තරුණියගේ පියා වන යූ.කේ.ඩී. සුමනසිරි සහ මව වන පත්මිනී වීරවර්ධන එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරති. ඔවුන් සැක පහළ කරන්නේ ස්වාමිපුරුෂයා සහ ඔහුගේ පවුලේ පිරිස එක්ව සිය දියණියට අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමෙන් අනතුරුව, එය සියදිවි නසාගැනීමක් ලෙස පෙන්වීම සඳහා සිරුර නිවසේ පරාලයක එල්ලා ඇති බවයි.




මහනුවර සුදුහුම්පල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ හෂිනිකා, මහනුවර ප්‍රසිද්ධ බාලිකා පාසලකින් අධ්‍යාපනය ලබා ඇති අතර අමතර පන්තියකට සහභාගි වූ අවස්ථාවකදී ඇයට උදේෂ් හමු වී තිබේ. රැකියාවක් පවා නොමැති මෙම තරුණයා සමඟ පැවැති සබඳතාවට දෙමාපියන් කොතරම් විරුද්ධ වුවද, ඔවුන් හොර රහසේ විවාහ වී ඇත. පසුව එම රහසිගත විවාහය පිළිබඳ දැනගත් දෙමාපියන්, දැඩි අකමැත්තෙන් වුවද ඔවුන් වෙනුවෙන් නැවත විවාහ උත්සවයක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, විවාහයෙන් පසු වරාපිටිය ප්‍රදේශයේ පිහිටි උදේෂ්ගේ නිවසේ පදිංචියට ගිය හෂිනිකාට ඉතා කෙටි කාලයක් තුළ විවිධ අර්බුදයන්ට මුහුණ දීමට සිදු වූ බව වාර්තා වේ.

උදේෂ් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර නිතර අමනාපකම් හා අඩදබර හටගෙන ඇති බව මියගිය තරුණියගේ දෙමාපියෝ පවසති. වසර එකහමාරක පමණ විවාහ ජීවිතය තුළ ඔහුගෙන් එල්ල වූ අමානුෂික වධහිංසා සහ පහරදීම් හේතුවෙන් හෂිනිකා කිහිප වරක්ම සුදුහුම්පල පිහිටි සිය මහගෙදර වෙත පැමිණ තිබේ. මේ සම්බන්ධයෙන් බලගොල්ල සහ කරල්ලියද්ද පොලිස් ස්ථානවල පැමිණිලි කිහිපයක්ම ගොනු කර ඇති නමුත්, ඒ සෑම අවස්ථාවකදීම සුදුහුම්පල නිවසට පැමිණෙන උදේෂ් මින් ඉදිරියට පහර නොදෙන බවට පොරොන්දු වෙමින් ඇයව නැවත කැඳවාගෙන ගොස් ඇත. ඇගේ මරණය සිදුවීමට දින දෙකකට පෙරද පහරකෑමට ලක්වූ ඇය සිය මහගෙදරට පැමිණි අතර, එහිදී දෙමාපියන් ඇයට දික්කසාද වීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස උපදෙස් දී තිබේ. එහෙත් පසුදිනම පැමිණි උදේෂ් දෙමාපිය විරෝධය මධ්‍යයේ හෂිනිකා නැවත කුණ්ඩසාලේ නිවස වෙත රැගෙන ගොස් ඇත.




ඇගේ මරණය සිදුවීමට පෙර දින පස්වරුවේ උදේෂ් සිය ඥාති සහෝදරයන් කිහිපදෙනෙකු සමඟ කුණ්ඩසාලේ පැවැති සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් ඇති අතර, ඊට පෙරද ඔහු හෂිනිකා සමඟ රණ්ඩු වී ඇයට පහර දී ඇති බව හෙළි වී තිබේ. මියගිය තරුණියගේ දෙමාපියන් චෝදනා කරන්නේ ඇගේ ස්වාමිපුරුෂයා සහ නිවසේ සාමාජිකයන් ඇයට අමානුෂික ලෙස පහර දී මියගිය පසු, එය සියදිවි හානි කරගැනීමක් ලෙස පෙන්වීමට ව්‍යාජ උත්සාහයක නිරත වන බවයි. මේ අතර, තෙල්දෙණිය අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සමන් රත්නායක මහතා විසින් මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබීය. එහිදී සැකකටයුතු ලිපියක් ඉදිරිපත් කරමින් එය මියගිය තරුණිය විසින් ලියන ලද්දක් බව නිවැසියන් ප්‍රකාශ කළද, මහේස්ත්‍රාත්වරයා විසින් එය හෂිනිකාගේ දෙමාපියන්ට සහ සහෝදරයාට පෙන්වා විමසූ විට එම අත් අකුරු තම දියණියගේ නොවන බව ඔවුහු තරයේ කියා සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන පල්ලෙකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා මෙය සැකකටයුතු මරණයක් ලෙස අධිකරණයට කරුණු වාර්තා කර ඇත. ඒ අනුව, මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කර තිබේ. පල්ලෙකැලේ පොලිසියෙන් සිදුකළ විමසීමකදී ප්‍රකාශ වූයේ, ඉදිරි විමර්ශන කටයුතු සඳහා මියගිය තරුණියගේ ස්වාමිපුරුෂයා මෙන්ම ඇගේ පියාද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවයි. දරුණු පහරදීමකට ලක්කර ඝාතනය කරන ලද තම දියණිය වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඥාතීන් නීති අංශවලින් ඉල්ලා සිටින අතර, ඇය සියදිවි හානි කරගත්තේද නැතහොත් ඝාතනය කර එල්ලා තැබුවේද යන්න අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂණයෙන් පසු හෙළි වීමට නියමිතය.

drug-addict-husband-arrested-on-suspicion-of-murdering-kundasale-wife



drug-addict-husband-arrested-on-suspicion-of-murdering-kundasale-wife

drug-addict-husband-arrested-on-suspicion-of-murdering-kundasale-wife

drug-addict-husband-arrested-on-suspicion-of-murdering-kundasale-wife



drug-addict-husband-arrested-on-suspicion-of-murdering-kundasale-wife