නිට්ටඹුව ප්‍රදේශයේ සුඛෝපභෝගී හෝටලයක පැවැති මංගල උත්සවයකදී දිවා ආහාරය සඳහා පිළිගැන්වූ මාළු ව්‍යංජනයක පණුවකු සිටීමේ සිද්ධියට අදාළව, එම හෝටලයේ අයිතිකරුට සහ කළමනාකරුට දඬුවම් නියම කිරීම ඔවුන්ගේ පෙර වැරදි වාර්තා කැඳවීමෙන් අනතුරුව සිදු කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් කේ.ආර්.වී.ටී. වැන්දබෝනා මහත්මිය නියෝග කර තිබේ.
අධිකරණය හමුවේ වරද පිළිගත් මෙම විත්තිකරුවන් දෙදෙනා පසුගිය 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු අතර, ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.මෙම අප්‍රසන්න සිදුවීම වාර්තා වී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා (18) දින අදාළ හෝටලයේ පැවැති විවාහ මංගල්‍යයකදීය. එහිදී පිළිගන්වන ලද කටු මාළු කැබැල්ලක පණුවෙකු සිටිනු දැක ඇත්තේ එම උත්සවයට ආරාධිතයෙකු ලෙස පැමිණ සිටි රජයේ ප්‍රධාන රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකි. ඔහු විසින් වහාම ක්‍රියාත්මක වී මේ පිළිබඳව කොළඹ ආහාර පාලන ඒකකය වෙත දුරකථනයෙන් දැනුම් දී ඇත.
කොළඹ ආහාර පාලන ඒකකයෙන් ලද තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ නිට්ටම්බුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.සී. රාජපක්ෂ, අත්තනගල්ල ප්‍රාදේශීය සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලංග වික්‍රමසිංහ සහ අලවල මහජන සෞඛ්‍ය පරීක්ෂක සී.ටී.එස්.සී. දොලවත්ත යන මහත්වරුන් වහාම අදාළ හෝටලය වෙත ගොස් පණුවා සිටි මාළු කොටස තම භාරයට ගෙන තිබේ. ඉන් අනතුරුව සිදු කළ මූලික විමර්ශනවලින් පසු සැකකරුවන් දෙදෙනා පසුගිය 19 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගැනුණි.
අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේදී මුලින් පෙනී සිටියේ හෝටල් කළමනාකරු පමණක් වන අතර අයිතිකරු පැමිණ නොසිටීම හේතුවෙන් වහාම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නඩුව පස්වරුවට කල් තැබීමට මහේස්ත්‍රාත්වරිය තීරණය කළාය. පසුව පස්වරුවේ නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටිමින් තමන්ට එල්ල වූ චෝදනාවලට වරද පිළිගන්නා බව ප්‍රකාශ කළහ. මෙහිදී නිට්ටම්බුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අධිකරණයට පෙන්වා දුන්නේ මෙම සැකකරුවන්ට එරෙහිව මීට පෙරද නඩු දෙකක් පවරා තිබූ බවයි. එම නඩු අවසන් වී ඇති බැවින්, වැරදිකරුවන්ගේ පෙර වැරදි වාර්තා සලකා බලා දඬුවම් නියම කිරීම සුදුසු බව මහේස්ත්‍රාත්වරිය තීරණය කළ අතර, ඒ අනුව නඩු තීන්දුව ලබන අගෝස්තු මස 07 වැනිදා දක්වා කල් තැබිණි. විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ සිහාරා මිහිරාණි මෙනෙවිය පෙනී සිටි අතර කොළඹ ප්‍රධාන ආහාර පරීක්ෂකවරුන්ගේ උපදෙස් මත ප්‍රාදේශීය සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සහ පැමිණිල්ල මෙහෙයවා තිබුණි.