දේශීය හා බටහිර වෛද්‍යවරියක ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ රටවලින් මෙරටට ගෙන්වන ලද ඖෂධ තොගයක් කොළඹ වරායෙන් නිදහස් කරගැනීම සඳහා මුදල් අවශ්‍ය බව පවසමින් ඇය විවිධ පුද්ගලයන්ගෙන් මෙම දැවැන්ත මුදල වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිස් අත්අඩංගුවට පත් වූ මෙම සැකකාරිය 53 හැවිරිදි වියේ පසුවන අවිවාහක කාන්තාවක වන අතර, ඇය මුලින් ගිරිබාව ප්‍රදේශයේ පදිංචිව සිට පසුව හොරණ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පදිංචිව සිටි තැනැත්තියකි. වෛද්‍යවරියක ලෙස රඟපාමින් ඇය මහජනතාව වෙත විවිධ ඖෂධ වර්ග ලබා දී ඇති අතර, එම ඖෂධ මෙරට භාවිතය සඳහා කිසිදු අනුමැතියක් නොලද, ප්‍රමිතියෙන් තොර ඒවා බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
තමන් වෛද්‍යවරියක බව අඟවමින් විවිධ ප්‍රදේශවල සායන පවත්වමින් ජනතාවගෙන් මුදල් ලබාගැනීමට ද ඇය කටයුතු කර ඇත. මේ වන විට ගම්පහ, මදුරාවල, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය සහ මිල්ලනිය යන ප්‍රදේශවලින් ඇයට රැවටී මුදල් අහිමි වූ පුද්ගලයන් කිහිප දෙනෙකුම පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර, තවත් මෙවැනි පැමිණිලි ලැබෙමින් පවතින බව ද පොලිසිය සඳහන් කරයි.
මෙම වංචනික ක්‍රියාවන් සඳහා වෙනත් වෛද්‍යවරියකගේ සහායක් සැකකාරියට ලැබුණේද යන්න පිළිබඳව ද පොලිසිය මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. සැකකාරිය තමන්ගේ අනන්‍යතාව තහවුරු කරනු වස් වෛද්‍ය ලාංඡනයක් සහිත මෝටර් රථයක් පවා භාවිත කර තිබේ. කෙසේ වෙතත්, ඇයගේ වෘත්තීය සුදුසුකම් සම්බන්ධයෙන් පොලිසිය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් සහ ආයුර්වේද වෛද්‍ය සභාවෙන් කළ විමසීම්වලදී තහවුරු වී ඇත්තේ ඇය කිසිදු වෛද්‍ය සභාවක ලියාපදිංචි වී නොමැති අයකු බවයි.
පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමත් සමඟ සැකකාරිය අධිකරණයෙන් අපේක්ෂිත ඇප ලබාගැනීමට උත්සාහ කර ඇති නමුත් එය ප්‍රතික්ෂේප වී තිබේ. ඉන් අනතුරුව ඇය පොලිස් අත්අඩංගුවට පත්වීම මඟහැරීම සඳහා විවිධ වාහන මාරු කරමින් කාලයක් තිස්සේ සැඟව සිට ඇති බව ද විමර්ශනවලදී අනාවරණය විය. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
