පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ඇමෙරිකානු ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනවලින් අනාවරණය වූ වැදගත් තොරතුරු සහ සාක්ෂි, වත්මන් පරීක්ෂණ කටයුතු සඳහා උපයෝගී කර නොගන්නේ මන්දැයි ප්‍රශ්න කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ, 2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීමට තරම් ප්‍රමාණවත් විශේෂඥ දැනුමක් මෙරට විමර්ශන ආයතන සතුව නොතිබූ බවයි.
මේ හේතුවෙන් එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා, ප්‍රහාරය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස ඇමෙරිකානු රජයෙන් නිල වශයෙන් ඉල්ලා සිටි අතර, ඒ සඳහා මෙරට බලධාරීන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බවට ද සහතික විය.ප්‍රහාරය සිදු වූ දිනට පසුදින, එනම් අප්‍රේල් 22 වැනිදා එවකට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති දුරකථන සංවාදයේදී ද මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එම කථාබහෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ජනාධිපති ට්‍රම්ප් මහතා, ත්‍රස්තවාදයට එරෙහිව සිදුකරන සටනේදී ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සහ මෙරට ජනතාව සමඟ ඍජුව පෙනී සිටින බව ප්‍රකාශ කළ අතර, සමස්ත ඇමෙරිකානු වැසියන් වෙනුවෙන් සිය බලවත් ශෝකය ද දන්වා සිටියේය.
ඒ අනුව ක්‍රියාත්මක වූ ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI), ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හමුදා බුද්ධි අංශය සහ රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු දේශීය ආරක්ෂක අංශ සමඟ එක්ව ඒකාබද්ධ පූර්ණ විමර්ශනයක් දියත් කරන ලදී. එහිදී අනාවරණය කරගත් සියලු තොරතුරු සහ එකතු කරන ලද සාක්ෂි ද්‍රව්‍ය පදනම් කර ගනිමින් FBI ආයතනය විසින් ශ්‍රී ලංකා රජය වෙත නිල වාර්තාවක් ද ඉදිරිපත් කළ අතර, මෙරට අදාළ සියලුම බලධාරීන් විසින් එම වාර්තාව පිළිගනු ලැබීය.
මෙම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස, 2020 නොවැම්බර් 12 වැනි දින FBI ආයතනයේ විශේෂ නියෝජිත මෙරීල් ආර්. ගොඩ්වින් විසින් කැලිෆෝනියා මධ්‍යම දිස්ත්‍රික්කය සඳහා වන එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ පිටු 71කින් යුත් සවිස්තරාත්මක දිවුරුම් ප්‍රකාශයක් ගොනු කිරීමට පියවර ගත්තේය. වසර දෙකක දීර්ඝ විමර්ශන ක්‍රියාවලියකින් පසුව, 2020 දෙසැම්බර් 11 වැනි දින ලොස් ඇන්ජලීස්හි එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ අපරාධ නඩුවක් ද පවරන ලදී. එම පැමිණිල්ලේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් ඇතුළු ප්‍රහාරයට සම්බන්ධ සෙසු සැකකරුවන්, එම නඩුව පවරන අවස්ථාව වන විටත් ශ්‍රී ලංකාවේ රැඳවුම් භාරයේ පසු වූහ.
ඇමෙරිකානු බලධාරීන් සතු මෙම සමස්ත විමර්ශන තොරතුරු සහ නීතිමය සාක්ෂි දැනට FBI ආයතනය හෝ එරට අධිකරණ දෙපාර්තමේන්තුව සතුව සුරක්ෂිතව පවතින බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂය, වත්මන් රජය විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව නැවත විමර්ශන ආරම්භ කර ඇති පසුබිමක මෙම සාක්ෂි ලබාගැනීමට ඇමෙරිකානු රජයෙන් ඉල්ලීමක් කර තිබේදැයි ප්‍රශ්න කරයි. එසේ ඉල්ලා ඇත්නම් ඊට ලැබුණු ප්‍රතිචාරය කුමක්ද යන්නත්, එසේ නොමැති නම් එවැනි පියවරක් නොගැනීමට හේතුව කුමක්ද යන්නත් රජය පැහැදිලි කළ යුතු බවත්, මෙම වටිනා සාක්ෂි ද්‍රව්‍ය වහාම ශ්‍රී ලංකාවේ අධිකරණ බලධාරීන් වෙත ලබාදීමට කටයුතු කළ යුතු බවත් එම පක්ෂය අවධාරණය කරයි.
