දිවයින පුරා ළමයින් අතර බෝවන සහ වෛරස් රෝග හතරක් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එම තත්ත්වය හමුවේ දෙමාපියන් දැඩි අවධානයකින් සහ විමසිල්ලෙන් පසුවිය යුතු බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් රට පුරා ඩෙංගු උණ රෝගය ඉතා තදින් පැතිර යමින් පවතින අතර, එය ඉදිරියේදී වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
පවතින මෙම වාතාවරණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකින් දෛනිකව ඩෙංගු රෝගීන් වාර්තා වන අතර, රට පුරා පිහිටි රෝහල් රැසක වාට්ටු ද ඩෙංගු රෝගීන්ගෙන් පිරී පවතින බව සෞඛ්‍ය දත්ත මඟින් අනාවරණය වේ.ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වාර්තාවලට අනුව, මේ වසරේ ගෙවී ගිය කාලසීමාව තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 41,466 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර, ඉන් පුද්ගල මරණ 24 ක් වාර්තා වී තිබේ. මෙම මියගිය පිරිස අතර පාසල් සිසුන් සිව්දෙනෙකු ද සිටින බව වාර්තා වේ. පසුගිය 2025 වසරේ සමස්ත ඩෙංගු රෝගීන් 51,479 ක් සහ මරණ 26 ක් වාර්තා වී තිබූ පසුබිමක, මේ වසරේ මාස කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ මෙවැනි ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීම බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය ප්‍රවීණයෝ පවසති. මේ වන විට බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 89 ක් දැඩි අවදානම් කලාප ලෙස නම් කර ඇත. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වන අතර එය 8,686 කි. ඊට අමතරව ගම්පහින් 7,263 ක්, මාතරින් 2,986 ක්, රත්නපුරෙන් 2,874 ක්, කළුතරින් 2,718 ක්, ගාල්ලෙන් 2,519 ක් සහ මහනුවරින් රෝගීන් 2,022 ක් වශයෙන් හඳුනාගෙන තිබේ.
උද්ගතව ඇති මෙම අවදානම් සහගත තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් රාජ්‍ය, පෞද්ගලික, පාසල් සහ නිවාස ආවරණය වන පරිදි දින හයක විශේෂ ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. දිවයිනේ පවතින සියලුම පළාත් පාලන ආයතන 341 ම ආවරණය වන පරිදි අද (15) සිට මේ මස 20 වැනිදා දක්වා මෙම පිරිසිදු කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක වන බව විෂයභාර අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව, අද (15) සිට ලබන 17 වැනිදා දක්වා නගරවල අවහිර වූ කාණු පද්ධති, වෙළෙඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පොළ ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කිරීමට නියමිතය. එසේම, මේ මස 18 වැනිදා පාසල්, පෙර පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන පරිශ්‍රයන් ද, 19 වැනි සිකුරාදා සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ කර්මාන්තශාලා පරිශ්‍රයන් ද පිරිසිදු කිරීමට යොදා ගැනේ. ලබන 20 වැනි සෙනසුරාදා දින පෞද්ගලික නිවාස සහ ඒ අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීමට කටයුතු යොදා ඇත.
මේ අතර, ළමුන් අතර ව්‍යාප්ත වන රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කරුණු පැහැදිලි කරමින් කියා සිටින්නේ, මේ දිනවල ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා, අත් සහ මුඛ රෝගය මෙන්ම මෙනින්ජයිටිස් යන රෝග සතර ළමයින් අතර සීඝ්‍රයෙන් පැතිර යන බවයි. මාරාන්තික රෝගයක් වන ඩෙංගු වැළඳුණු විට උණ, හිසරදය, ඇස් යට කැක්කුම, ඇඟපත සහ හන්දිපත් වේදනාව සමඟ වමනය සහ බඩඑළිය යාම වැනි ලක්ෂණ පෙන්නුම් කරන බැවින්, දරුවෙකුට දින දෙකකට වඩා උණ පවතින්නේ නම් වහාම ඒ පිළිබඳව විමසිලිමත් විය යුතුය. එමෙන්ම ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳුණු විට උණ සමඟ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව සහ හන්දිපත් රුදාව ඇති විය හැකි බැවින්, එවැනි ලක්ෂණ ඇත්නම් දරුවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර නිවසේ විවේක ගැන්විය යුතුය. රෝගය අනෙක් අයට බෝවීම පාලනය කර ගැනීම සඳහා දරුවන් පාසල්, පෙර පාසල් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේදී මුඛ ආවරණ පැළඳවීමට පියවර ගන්නා ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.
මීට අමතරව ව්‍යාප්ත වන ‘අත් සහ මුඛ රෝගය’ කොක්ටසිස් නම් වෛරසය මඟින් බෝවන අතර, එහිදී දරුවාගේ පාද, වැලමිට සහ මුඛය ආශ්‍රිතව රතු ලප හෝ ඇතැම් විට සුදු වතුර පිරුණු බිබිලි ඇති විය හැක. රෝගී දරුවෙකු තවත් දරුවෙකුගේ ශරීරයේ ගැටීමෙන් මෙම රෝගය බෝවන බැවින්, මෙවැනි රෝග ලක්ෂණ සහිත දරුවන් දින 3-4 ක් නිවසේ රඳවා ගනිමින් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට දෙමාපියන් ක්‍රියා කළ යුතුය. එසේම, වෛරස් බලපෑමක් හේතුවෙන් මේ දිනවල දරුවන් අතර පැතිර යන මෙනින්ජයිටිස් රෝගයේ ලක්ෂණ ලෙස උණ සමඟ හිසරදය, වමනය, විදුලි එළියක් හෝ යම් ආලෝකයක් දෙස බැලීමේ අපහසුව, ශබ්ද ඇසීමට පවා ඇති අකමැත්ත සහ ඇඟපත රුදාව දැකිය හැකිය. ආහාර මාර්ගය සහ ශ්වසන මාර්ගය ඔස්සේ බෝවන මෙම මෙනින්ජයිටිස් රෝගය පැතිරීම අවම කර ගැනීම සඳහා දරුවන්ට පිරිසිදු ආහාර සහ උණුකර නිවා ගත් ජලය ලබා දීමටත්, කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව පවතී නම් මුඛ ආවරණ පැළඳවීමටත් පියවර ගැනීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
