it-was-wrong-for-the-wife-to-visit-saleh-in-the-hospital

පොලිස් අත්අඩංගුවේ පසුවෙමින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ මහතාට දිනපතා සිය නීතිඥවරයා හමුවීමට අවසර ලබාදෙන ලෙස ඔහුගේ බිරිඳ විසින් කර තිබූ ඉල්ලීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.




රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක නිරත වීම හේතුවෙන් මේ වනවිට රෝහල්ගත කර සිටින සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය, ආහාර පාන වර්ජනය කිරීම නිසා පිරිහෙමින් පවතින බව පෙන්වා දෙමින් සලේ බන්ධුසේන මහත්මිය විසින් මෙම ඉල්ලීම සිදුකර තිබුණි. එහිදී ඇය ඉල්ලා තිබුණේ සතියේ දින පහ තුළම නීතිඥ අසිත සිරිවර්ධන මහතාට සිය ස්වාමිපුරුෂයා මුණගැසීමට අවස්ථාව සලසා දෙන ලෙසයි. ඊට පිළිතුරු සපයමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.එස්. අබේසේකර මහතා විසින් යොමු කළ ලිපියක් මඟින් අදාළ ඉල්ලීම මෙලෙස ප්‍රතික්ෂේප කර ඇත.

අධ්‍යක්ෂවරයා සිය ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ, සැකකරු මේ වනවිට විමර්ශන කටයුතුවලින් බැහැරව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බැවින් මෙම අවස්ථාවේදී නීති උපදෙස් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනඟින බවයි. එමෙන්ම නීතිඥවරයා නිරන්තරයෙන් මුණගැසීම හරහා රෝගියෙකු ලෙස ඔහුට අත්‍යවශ්‍ය වන මානසික විවේකය අහිමි වී යා හැකි බවත්, එය ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයට හිතකර නොවන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුම් දී තිබේ. ඒ අනුව, පවතින අධිකරණ නියෝග ප්‍රකාරව නීතිඥවරයාට සැකකරු හමුවිය හැක්කේ සෑම සතියකම බදාදා දිනවලදී පමණක් බවද එහි වැඩිදුරටත් අවධාරණය කර ඇත.




කෙසේ වෙතත්, සුරේෂ් සලේ මහතා රෝහල්ගතව සිටින මෙම කාලසීමාව තුළ ඔහුගේ බිරිඳට මෙන්ම දියණියට සහ පුතාට දෛනිකව රෝහලට පැමිණ ඔහුගේ සුවදුක් බැලීම සඳහා මේ වනවිටත් අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි. එම කරුණු සහ සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී නීතිඥවරයාට දිනපතා රෝහලට පිවිසීමට අවසර ලබාදිය නොහැකි බව අදාළ ලිපියෙන් පැහැදිලි කර තිබේ.



gossiplanka collage