11-people-are-in-the-hospital-when-the-van-crashes-into-a-tree-while-coming-from-the-wedding

මඩකලපුව ප්‍රදේශයේ සිට මනම්පිටිය බලා ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මනම්පිටිය මහවැව ගවංගුව ප්‍රදේශයේදී පසුගිය 13 වැනිදා පස්වරු 5.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරට පත් වූවන් වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ පොලිසිය විසින් පොළොන්නරුව සහ මනම්පිටිය යන රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.




මෙම පිරිස මඩකලපුව ප්‍රදේශයේ පැවැති විවාහ උත්සවයකට සහභාගි වී නැවත සිය නිවෙස් බලා පැමිණෙමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා තිබේ. අනතුරින් තුවාල ලැබූ සියලුම දෙනා මනම්පිටිය දමිළ ගම්මානයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. ධාවනය වෙමින් තිබූ රථය එකවරම පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල වූ කෝන් ගසක ගැටී ඇති අතර, අධික වේගය, නොසැලකිලිමත් රිය ධාවනය සහ රියදුරුට නින්ද යාම මෙම අනතුරට සෘජුවම හේතු වී ඇති බව මනම්පිටිය පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තුවාල ලැබූවන් අතර අට හැවිරිදි කුඩා දැරියක ද සිටින අතර වෑන් රථයේ රියදුරු ඇතුළු තිදෙනෙකුගේ තත්ත්වය අතිශය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් නව දෙනෙකු පොළොන්නරුව මහ රෝහලේත්, අනෙක් දෙදෙනා මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසු වෙති. මනම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී.ඒ.සී. ආරියරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

11-people-are-in-the-hospital-when-the-van-crashes-into-a-tree-while-coming-from-the-wedding