අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට අදාළව විපක්ෂය ඉල්ලා සිටි හදිසි විවාදයකට රජය එකඟ නොවීම හේතුවෙන් පාර්ලිමේන්තු සභාගර්භය තුළ අද (23) පෙරවරුවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේය. එහිදී අජිත් පී.
පෙරේරා සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේ සෙන්කෝලය පැහැර ගැනීමට ද උත්සාහ කර තිබේ. කෙසේ වෙතත්, වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා ඇතුළු පාර්ලිමේන්තු ආරක්ෂක අංශ නිලධාරීන් වහා මැදිහත් වී එම උත්සාහය ව්‍යර්ථ කිරීමට පියවර ගෙන ඇත.මෙම නොසන්සුන්කාරී වාතාවරණය නිර්මාණය වූයේ අධිකරණ ක්ෂේත්‍රය තුළ උද්ගතව ඇති ව්‍යූහාත්මක ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම අවශ්‍ය බව අවධාරණය කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් කළ ඉල්ලීම් පත්‍රයක් අද උදෑසන කථානායකවරයා වෙත භාරදීමෙන් අනතුරුවය. සභා වාරය පැවැත්වෙන අතරතුර විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම කරුණ මුල් කරගනිමින් සභාව තුළ හදිසි විවාදයක් පවත්වන ලෙසයි. එම අවස්ථාවේදී විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ එකවර අසුන්වලින් නැගී සිටිමින් එම ඉල්ලීම ඉටුකරන ලෙස බලකර සිටියහ.
විපක්ෂයේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කථානායකවරයා ආණ්ඩු පක්ෂයේ ස්ථාවරය විමසූ අතර, සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ අදාළ විවාදය පැවැත්වීම සඳහා රජයේ එකඟතාවක් නොමැති බවයි. එහෙත් අවශ්‍යතාවක් පවතින්නේ නම් එම කරුණ සම්බන්ධයෙන් සභාවේ ඡන්ද විමසීමකට යාමට රජය සූදානම් බවද සභා නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. රජය දැක්වූ මෙම ප්‍රතිචාරයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කරමින් ඝෝෂා කිරීමට පටන් ගැනීමත් සමඟ දෙපාර්ශවයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සහ මතගැටුමක් නිර්මාණය විය.
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ මෙම බහින්බස්වීම සහ දැඩි විරෝධතාව හේතුවෙන් සභාවේ කටයුතු ඉදිරියට කරගෙන යාමට දැඩි බාධා එල්ල විය. ඒ අනුව, සභාගර්භය තුළ හටගත් මෙම දැඩි උණුසුම්කාරී සහ නොසන්සුන් වාතාවරණය පාලනය කරමින් තත්ත්වය සමනය කිරීම සඳහා, පාර්ලිමේන්තු සභාවාරය විනාඩි 10ක කාලයකට තාවකාලිකව කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.