ලුණුවිල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකට එරෙහිව ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ව්‍යාජ හෙරොයින් චෝදනා එල්ල කරමින් මාස දෙකකට අධික කාලයක් අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට පොලිසිය කටයුතු කළ බව පෙත්සම්කරුවෝ පවසති.
මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ අලවතුරාගේ රොෂාන් පෙරේරා සහ සිල්මගුරුගේ නලින් සම්පත් ප්‍රනාන්දු යන තරුණයන් දෙදෙනා විසින් වන අතර, එහි වගඋත්තරකරුවන් ලෙස ලුණුවිල පොලිස් ස්ථානාධිපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු නම් කර ඇත.පෙත්සම්කාර තරුණයන් පවසන පරිදි, 2026 මාර්තු මස 10 වන දින ණය මුදලක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත පුද්ගලයෙකුගෙන් එල්ල වූ තර්ජනයක් පිළිබඳව පැමිණිලි කිරීමට ඔවුහු ලුණුවිල පොලිසිය වෙත ගොස් තිබේ. එහෙත් එම පැමිණිල්ල සටහන් කර ගැනීම වෙනුවට පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව රඳවා තබාගෙන ඇති අතර, පසුව හෙරොයින් ළඟ තබා ගැනීමේ ව්‍යාජ චෝදනා ගොනු කර ඇත. තමන්ව අත්අඩංගුවට ගැනීමට හේතුව කිසිදු අවස්ථාවක දැනුම් නොදුන් බවත්, පොලිස් කූඩුවට දැමීමට ප්‍රථම පළමු පෙත්සම්කරුට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පහර දුන් බවත් එහි සඳහන් වේ.
මීට අදාළව ලුණුවිල පොලිසිය විසින් මෙම තරුණයන් දෙදෙනා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේය. එහිදී පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද 'බී' වාර්තාවල දැක්වෙන්නේ මෙම පිරිස 2026 මාර්තු 11 වන දින ලුණුවිල ප්‍රදේශයේ ස්ථාන දෙකකදී මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගත් බවයි. එහෙත් පෙත්සම්කරුවන් අවධාරණය කරන්නේ තමන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ ඊට පෙර දින රාත්‍රියේ පොලිස් ස්ථානය ඇතුළතදීම බවයි.
මේ අතර, පොලිසිය විසින් මෙම මත්ද්‍රව්‍ය නඩුව සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස ගොතා ඇති බව පවසමින් තරුණයන්ගේ පවුල්වල සාමාජිකයින් විසින්ද බලධාරීන්ට පැමිණිලි කර ඇත. ඒ අනුව ඔවුන් විසින් පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මේ පිළිබඳව විධිමත් පැමිණිලි ඉදිරිපත් කර තිබේ.