chaminda-wijesiri-is-guilty-of-all-four-charges

බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔවුන් වැරදිකරුවන් බවට ප්‍රකාශ කර තිබේ. ඒ අනුව හිටපු මන්ත්‍රීවරයා සහ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ බන්දුල රත්නායක යන අය චෝදනා හතරකට වැරදිකරුවන් වී ඇති අතර, ඇමැති ආරක්ෂක සේවයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරී රසික කරුණාතිලක නමැත්තා චෝදනා තුනකට වැරදිකරු බවට අධිකරණය තීන්දු කර ඇත.




අයුතු අවහිර කිරීම් සිදු කිරීම, පහර දී ස්වේච්ඡාවෙන් තුවාල සිදු කිරීම, රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය එල්ල කිරීම සහ ඔවුන්ට තුවාල සිදු කිරීම යන චෝදනා මත පදනම්ව මෙම නඩු විභාගය බදුල්ල මහාධිකරණය හමුවේ පවත්වාගෙන යනු ලැබීය. අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, නඩුවේ ඉදිරි කටයුතු ලබන ජූලි මස 28 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා පියවර ගත්තේය. මෙහිදී අධිකරණය හමුවේ අනාවරණය වූ තවත් විශේෂ කරුණක් වූයේ, මෙම නඩුවේ විත්තිකරුවෙකු වූ රියදුරු බන්දුල රත්නායක නමැත්තා දැනට මියගොස් ඇති බවයි.

මෙම සිදුවීමට මුල් වූ පසුබිම 2019 වසරේ පෙබරවාරි මස 10 වැනිදා හෝ ඒ ආසන්න දිනකදී බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී නිර්මාණය වී තිබේ. එදින පස්වරු කාලයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිසක් ජීප් රථවලින් ගමන් කරමින් සිට ඇති අතර, එම අවස්ථාවේදී ඔවුන්ගේ වාහනය පසුකර ඉදිරියට ධාවනය වූ පොලිස් ජීප් රථයක් හේතුවෙන් දෙපාර්ශවය අතර උණුසුම් බහින්බස්වීමක් හටගෙන ඇති බව නඩු විභාගයේදී හෙළි විය.




පැමිණිලි පාර්ශවය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ, තමන් ගමන් ගත් පොලිස් ජීප් රථය ඉස්සර කිරීම පිළිබඳව උරණ වූ හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස වහාම ක්‍රියාත්මක වී පොලිස් වාහනයේ මඟ අවහිර කළ බවයි. ඉන් නොනැවතුණු විත්තිකරුවන්, පොලිස් ජීප් රථය තුළ සිටි නිලධාරීන්ට පහර දී තුවාල සිදු කරමින් ඔවුන්ගේ ජීවිතවලට මරණීය තර්ජන එල්ල කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.