brothers-who-quarreled-over-a-ganadevi-statue-are-in-police-custody

හාලිඇළ, බෝගහමඩිත්ත ප්‍රදේශයේ දේවාලයක පැවති වාර්ෂික තේරු උත්සවයක රදම් පෙරහැරක් අතරතුරදී ගණදෙවි ප්‍රතිමාවක් සහ පින්කැට දෙකක් සම්බන්ධයෙන් ඇති වූ දැඩි ගැටුමක් හේතුවෙන් එකම පවුලේ සහෝදරයන් සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට හාලිඇළ පොලිසිය කටයුතු කර ඇත.




පොලිසිය සඳහන් කරන ආකාරයට මෙම දේවාලයේ තේරු උත්සවය දින කිහිපයක් පුරාවට පවත්වා ඇති අතර, ඊට සමගාමීව දේව ප්‍රතිමා වැඩම කරවන රදම් පෙරහැරක් ද සංවිධානය කර තිබී ඇත. මෙම පෙරහැර සඳහා අදාළ සහෝදරයන් සිව්දෙනාගේ මූලිකත්වයෙන් ගණදෙවියන්, කතරගම දෙවියන් සහ කාලි මෑණියන් වැඩම කරවීම උදෙසා රදම් කරත්ත තුනක් සූදානම් කර තිබී ඇත.

හාලිඇළ නගරයේ සිට රාත්‍රී කාලයේදී යළි බෝගහමඩිත්ත යෙල්වර්ටන් ප්‍රදේශය දක්වා පෙරහැර ගමන් කරමින් තිබියදී මෙම ආරවුල හටගෙන තිබේ. එක් රදම් කරත්තයක ගමන් ගත් සහෝදරයෙකු විසින් එහි තිබූ පින්කැට දෙකක් දේවාලයට භාර නොදී තමා සන්තකයේ තබාගැනීමට උත්සාහ කිරීමත් සමඟ සහෝදරයන් සිව්දෙනා අතර මෙම ගැටුම නිර්මාණය වී ඇත. එම අවස්ථාවේදී පෙරහැරේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී මැදිහත් වෙමින් තත්ත්වය සමථයකට පත් කිරීමට පියවර ගෙන තිබේ.




කෙසේ වෙතත්, මෙම ගැටුම අතරවාරයේදී එක් සහෝදරයෙකු විසින් රදම් කරත්තයේ වැඩම කරවමින් තිබූ ගණදෙවි ප්‍රතිමාව ඉන් පිටතට ගෙන සිය නිවසට රැගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මේ වන විටත් බදුල්ල - හාලිඇළ ප්‍රධාන මාර්ගය දෙපස විශාල බැතිමතුන් පිරිසක් දෙවියන් උදෙසා පූජා වට්ටි සහ පළතුරු වට්ටි රැගෙන දේව ආශිර්වාදය ලබාගැනීමේ අපේක්ෂාවෙන් පෙළගැසී සිට ඇත. ඔවුන්ට කිසිදු අපහසුතාවක් හෝ බාධාවක් නොවන ආකාරයෙන් පෙරහැරේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා, කාඩ්බෝඩ් භාවිතයෙන් කපන ලද ගණදෙවි රූපයක් කරත්තයේ තබා පෙරහැර අඛණ්ඩව ගමන් කරවීමට සංවිධායකයින් පියවර ගෙන තිබේ.



මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ සහ සහකාර පොලිස් අධිකාරි 1 වේහිත දේශප්‍රිය යන මහත්වරුන්ගේ සෘජු උපදෙස් මත සිදු කෙරේ. ඒ අනුව හාලිඇළ වැඩබලන පොලිස් ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක බණ්ඩාර, උපපොලිස් පරීක්ෂකවරුන් වන ගැමුණු සහ ශානික, මෙන්ම පොලිස් සැරයන්වරුන් වන ජයසිංහ (1477), ගුණසිංහ (54255) සහ ජයසිංහ (86660) යන නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අදාළ පරීක්ෂණ මෙහෙයවනු ලබයි.