
දැඩි සුළඟක් හේතුවෙන් ගසකින් කඩා වැටුණු කොස් ගෙඩියක් නාසයේ ගැටී, බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තිදරු පියෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මොහු, මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් පළමුවැනිදා පස්වරුවේ මෙලෙස මියගොස් ඇත.
මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ කෑගල්ල, වතුර දික්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි පනස් හය හැවිරිදි ගල්පොත්ත ගමගේ රත්නායක නැමැති අයෙකි. ඔහු පාසල් යන වයසේ පසුවන එක් දරුවෙකු ඇතුළුව පිරිමි දරුවන් දෙදෙනෙකුගේ සහ එක් ගැහැනු දරුවෙකුගේ පියෙකු වන අතර, ඔහුගේ බිරිඳ පසුගිය වසර දෙකහමාරක පමණ කාලයක සිට විදේශගතව රැකියාවක නිරතව සිටින බව සඳහන් වේ.
පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති පරිදි, මියගිය පුද්ගලයා සිය නිවසේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි අලපලාවල වඩුපොළ ග්‍රාමයේ පදිංචි හිතවතෙකුගේ නිවසට නිතර යන එන අයෙකි. ඉකුත් 25 වැනිදා අලුයම ද ඔහු සුපුරුදු පරිදි එම නිවසට ගොස් ඇති අතර, ඒ වන විට තවත් අසල්වැසි හිතවතුන් දෙදෙනෙකු ද එහි පැමිණ සිට ඇත. එම මිතුරාට අයත් කුකුල් කොටුවක් පිරිසිදු කිරීමෙන් අනතුරුව, ඔවුන් සියලු දෙනාම ඊට පහළින් පිහිටි ඇළ මාර්ගයකට ගොස් ඇත්තේ ඇඟපත සෝදා ගැනීමේ අරමුණෙනි.
මේ අතරතුර වැසි සහිත කාලගුණික තත්ත්වයක් සමඟ හදිසියේම දැඩි සුළඟක් හමා ගොස් තිබේ. එම අවස්ථාවේදී කුකුල් කොටුවේ හිමිකරු සිය කොටුව දෙසටත්, අසල්වාසීන් දෙදෙනා සහ රත්නායක මහතා හිතවතාගේ නිවස දෙසටත් දිව ගොස් ඇත. ඔහු තනිවම නිවස දෙසට යමින් සිටියදී, අඩි සියයක් පමණ උසැති ගසකින් කඩා වැටුණු කොස් ගෙඩියක් පළමුව ගලක් මතට වැටී පසුව ඔහුගේ නාසයේ වැදී තිබේ. එම පහරින් සමබරතාවය ගිලිහී ගොස් බිම වැටුණු ඔහුගේ හිස පිටුපස ගලක ගැටීමෙන් මෙම බරපතළ තුවාල සිදුව ඇත.
අනතුරුව ත්‍රිරෝද රථයක් මගින් ඔහුව කෑගල්ල මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, තත්ත්වය බරපතළ වූ බැවින් එදිනම මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා තිබුණි. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති අතර, මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය ඉකුත් 02 වැනිදා මහනුවර ජාතික රෝහලේදී සිදු කරනු ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ආර්. මානවඩු මහතාගේ උපදෙස් මත, විවිධ පැමිණිලි අංශයේ උප පොලිස් පරීක්ෂක මයුරවංශ මහතා විසින් වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.
