the-driver-jumped-30-meters-with-ralahami-holding-his-hand-on-the-door-of-the-vehicle

මහනුවර - මාතලේ ප්‍රධාන මාර්ගයේ අකුරණ නගරයේදී සැකකටයුතු වෑන් රථයක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් සැරයන්වරයෙකුගේ අතක් එහි වීදුරුවට හිරකරගෙන මීටර් තිහක පමණ දුරක් ඇදගෙන ගොස් පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අලවතුගොඩ පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. මෙම සිදුවීම පෙරේදා අලුයම් කාලයේදී වාර්තා වී තිබේ.




අදාළ සැකකටයුතු වෑන් රථය නැවැත්වූ පොලිස් නිලධාරීන් එහි ලියකියවිලි පරීක්ෂා කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. රියදුරු අසුනේ සිටි පුද්ගලයා විසින් සිය ලියකියවිලි පොලීසිය වෙත ලබාදෙන අතරතුරදී එක්වරම වාහනයේ ඉදිරිපස වීදුරුව වසා දමා ඇති අතර, එහිදී අසල සිටි පොලිස් සැරයන්වරයාගේ අතක් එම වීදුරුවට සිරවී තිබේ. එලෙස නිලධාරියාගේ අත සිරවී තිබියදීම රියදුරා විසින් වාහනය වේගයෙන් ඉදිරියට ධාවනය කර ඇත.

වෑන් රථයේ වීදුරුවට අත සිරවීම හේතුවෙන් අදාළ පොලිස් සැරයන්වරයා මීටර් තිහක පමණ දුරක් රථය සමග ඉදිරියට ඇදී ගොස් බිමට වැටී ඇති අතර, සැකකරු වාහනයද රැගෙන එම ස්ථානයෙන් පලාගොස් තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා අකුරණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.




පොලිස් නිලධාරීන් භාරයට ගත් රථයේ ලියකියවිලි ඔස්සේ සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම වෑන් රථය මාතලේ ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති එකක් බවයි. එසේම එය කුලියට ගෙන ඇත්තේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් බවද පොලීසිය විසින් මේ වනවිට හඳුනාගෙන තිබේ. ඊට අමතරව මෙම සැකකාර රියදුරා සමග තවත් කාන්තාවකද අදාළ අවස්ථාවේදී වෑන් රථය තුළ ගමන් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම පලාගිය සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් අලවතුගොඩ පොලීසිය භාර සහකාර පොලිස් අධිකාරී සෙනෙවිරත්න මහතාගේ සෘජු උපදෙස් මත මේ වනවිටත් විශේෂ විමර්ශන ආරම්භ කර තිබේ. ඒ අනුව අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ජනක සංජීව මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.