brother-jumps-to-save-two-drowning-sisters---all-three-die

නොරොච්චෝල ප්‍රදේශයේ මුහුදු තීරයේ දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ ඔවුන් බේරා ගැනීමට දියට පැන්න ඔවුන්ගේ සහෝදරයා ද ඇතුළුව තිදෙනෙකු දියේ ගිලී අවාසනාවන්ත ලෙස මිය යාමේ ශෝකජනක පුවතක් වාර්තා වේ.




මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුත්තලම, තිල්ලඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි මොහොමඩ් රිම්සාන් ෆාතිමා රික්සානා, 17 හැවිරිදි මොහොමඩ් රිම්සාන් ෆාතිමා සහරා යන සහෝදරියන් දෙදෙනා සහ 25 හැවිරිදි මොහොමඩ් උසාම් නමැති ඔවුන්ගේ සහෝදරයායි. මියගිය රික්සානා මද්‍රසා ගුරුවරියක ලෙස කටයුතු කර ඇති අතර, සහරා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි සිසුවියකි. මියගිය උසාම් සිංගප්පූරුවේ රැකියාවක නිරතව සිටිමින් නිවාඩුවක් සඳහා මෑතකදී දිවයිනට පැමිණි අයෙකි.

පුත්තලම මූලික රෝහලේදී දැඩි ශෝකයෙන් අදහස් දැක්වූ මියගිය දරුවන්ගේ පියා වන 55 හැවිරිදි ආරුමුගම් රම්සාන් මහතා ප්‍රකාශ කළේ, තම ඥාතීන් පිරිසක් සමඟ වාර්ෂිකව සිදුකරන විනෝද චාරිකාවක අංගයක් ලෙස දහවල් ආහාරයෙන් පසු ලොරි රථයකින් පැමිණ මෙලෙස දිය නෑමට එක්වූ බවයි. දියට බැසීමට පෙර ජලයේ ගැඹුර පරීක්ෂා කළ බවත්, එය දණහිස මට්ටමේ පැවති බැවින් කුඩා දරුවන්ට දිය නෑමට අවසර දුන් බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත්, හදිසියේම දියණියන් දෙදෙනා දියේ ගිලෙන්නට වූ බවත්, ඔවුන්ගේ කෑගැසීම ඇසී ඔවුන් බේරා ගැනීමට තම පුත්‍රයා වහාම දියට පැන්නද ඔහුද දියේ ගිලී ගිය බවත් පියා හඬාවැලපෙමින් විස්තර කළේය. තමාද දියට පැන දරුවන්ගේ කොණ්ඩයෙන් අල්ලා ගොඩට ගැනීමට දැඩි උත්සාහයක් ගත් නමුත් රළු ජල පහර විසින් ඔවුන්ව යළිත් ගැඹුරට ඇදගෙන ගිය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




මෙම ඛේදවාචකයට මුහුණ දුන් උසාම් නමැති තරුණයා සිය විදෙස් රැකියාව සඳහා යළි පිටත්ව යාමට දින පහක් පමණක් ඉතිරිව තිබියදී තවත් සති කිහිපයකින් සිය නිවාඩුව දීර්ඝ කරගෙන සිටි බවද වාර්තා වේ. මෙම අවස්ථාවට සහභාගී වී සිටි බළන්ගොඩ ප්‍රදේශයේ සිට පැමිණි 33 හැවිරිදි සිත්ති නස්රීනා මහත්මිය ප්‍රකාශ කළේ, මීට පෙරද වසර ගණනාවක් තමන් මෙම ස්ථානයට දිය නෑමට පැමිණ ඇති නමුත් මෙතරම් ගැඹුරක් මින් පෙර නොතිබූ බවයි. එම ස්ථානය අනතුරුදායක බවට කිසිදු පුවරුවක් හෝ අනතුරු ඇඟවීමක් සවිකර නොතිබූ බවත්, එවැන්නක් තිබුණේ නම් කිසිවෙකුත් දියට නොබසින බවත් ඇය අවධාරණය කළාය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුත්තලම නාගරික හදිසි මරණ පරීක්ෂක බදුර්දීන් මොහොමඩ් හිෂාම් මහතා පෙන්වා දුන්නේ, පසුගිය වසර පහළොවක පමණ කාලය තුළ මෙම ස්ථානයේ දියේ ගිලීමෙන් සිදුවූ මරණ විස්සකට ආසන්න සංඛ්‍යාවක මරණ පරීක්ෂණ තමා විසින් සිදුකර ඇති බවයි. මෙම ස්ථානය දැඩි අනතුරුදායක කලාපයක් වුවද, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කිසිදු බලධාරියෙකු විසින් අනතුරු ඇඟවීමේ නාමපුවරුවක් හෝ සවිකර නොතිබීම බලවත් කනගාටුවට කරුණක් බව ඔහු ප්‍රකාශ කළේය. මියගිය තරුණ තරුණියන් තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කිරීමට නියමිතව තිබූ අතර, නොරොච්චෝල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

brother-jumps-to-save-two-drowning-sisters---all-three-die