an-act-that-mandates-the-producer-himself-to-collect-plastic-polythene-sold

වෙළෙඳපොළට නිකුත් කරනු ලබන ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතයෙන් පසු නැවත එකතු කිරීමේ සම්පූර්ණ වගකීම අදාළ නිෂ්පාදකයාටම පැවරෙන නව පරිසර පනතක් නුදුරේදී හඳුන්වා දෙන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ප්‍රකාශ කරයි. මෙම නව පනත පිළිබඳව පාර්ලිමේන්තුව තුළ පුළුල් සංවාදයක් ඇති කිරීමට ලබන සැසිවාරයෙන් පසුව එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී කටයුතු කරන බව ද ඒ මහතා සඳහන් කළේය.




ජගත් පරිසර දිනයට සමගාමීව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යාන ශ්‍රවණාගාරයේදී පාසල් දරු දැරියන් දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මීට සමගාමීව සංචාරක කර්මාන්තය දිරිගැන්වීමේ පියවරක් ලෙස පේරාදෙණිය උද්භිද උද්‍යානයට විද්‍යුත් ආරෝපණයෙන් ධාවනය වන පරිසර හිතකාමී රථ දහයක් පරිත්‍යාග කිරීම ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදුවූ අතර, එමඟින් දෙස් විදෙස් සංචාරකයන්ට උද්‍යානය පුරා පහසුවෙන් ගමන් කරමින් නැරඹීමට අවස්ථාව සැලසේ.

නව පනත හරහා පරිසරය සුරැකීම උදෙසා නිෂ්පාදකයාගේ විස්තීරණ වගකීම යටතේ ප්ලාස්ටික් සහ පොලිතින් සඳහා දැඩි නීතිමය රාමුවක් නිර්මාණය වේ. ඒ අනුව, පනත සම්මත වී පළමු වසර තුළදී තම නිෂ්පාදනයෙන් සියයට 40ක ප්‍රමාණයක් ද, දෙවන වසරේදී සියයට 60ක් සහ තෙවන වසරේදී සියයට 80ක් ආදී වශයෙන් නැවත එකතු කිරීමේ අනිවාර්ය වගකීම නිෂ්පාදකයන් වෙත පැවරෙනු ඇත. වර්තමානයේ පවතින පාරිභෝගිකයා විසින් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් බෝතල් සහ පොලිතින් ජලයට එක්වීමෙන් කානු අවහිර වීම වැනි බරපතළ ගැටලු රැසක් මතුව ඇති බැවින්, මෙම තත්ත්වය පාලනය කරමින් එලෙස එකතු කරන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කර නව නිෂ්පාදන සඳහා යොදාගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.