විවිධ අක්‍රමිකතා, අල්ලස් හා දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍යවරුන් දස දෙනෙකුගේ පුත්‍රයන් සම්බන්ධයෙන් විමර්ශන අංශ කිහිපයක් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් විසින් මෙම විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.
මෙම සැකකටයුතු ඇමැති පුත්‍රයන් පිරිස අතරින් ඇතැම් පුද්ගලයන් සංවිධානාත්මක පාතාල කණ්ඩායම් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, ඒ පිළිබඳවද විශේෂ විමර්ශන ක්‍රියාත්මක වන බව උසස් පොලිස් නිලධාරියෙකු සනාථ කර ඇත. නීතිමය පියවර මඟහැරීම සඳහා මොවුන් විදේශගත වීම වැළැක්වීමට අදාළ ආරක්ෂිත පියවර මේ වන විටත් බලධාරීන් විසින් ගෙන තිබේ.
දූෂණ ක්‍රියා සහ පාතාල සබඳතා පැවැත්වීමේ චෝදනා මත හිටපු ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ පුතුන් තිදෙනෙකු දැනටමත් පොලිස් අත්අඩංගුවට පත්ව සිටිති. ඒ අතරින් මෑතකදී අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලැබුවේ හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන රඛිත රාජපක්ෂ මහතාය.
පසුගිය රජයන් පැවැති සමයේ සිය පියවරුන් සතු වූ දේශපාලන බලය අනිසි ලෙස භාවිත කරමින් මොවුන් විවිධ දූෂණ සහ අක්‍රමිකතාවල නිරත වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ඇතැම් නීතිවිරෝධී සිදුවීම් සඳහා අදාළ හිටපු ඇමැතිවරුන් සෘජුවම සහාය පළ කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන අතර, ඒ හේතුවෙන් එම හිටපු දේශපාලනඥයන්ගෙන්ද ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.
සිය පියවරුන්ගේ දේශපාලන බලපෑම මත විවිධ තනතුරු ලබාගෙන කටයුතු කළ කාලය තුළ මොවුන් මෙම අක්‍රමිකතා සිදු කර ඇති බවට තොරතුරු හෙළිව තිබේ. දැනට ක්‍රියාත්මක විමර්ශන ඔස්සේ මොවුන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඒකරාශී කර ගැනීමෙන් අනතුරුව ඉදිරි අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටියි.
මීට අමතරව, විවිධ මූල්‍ය හා දූෂණ චෝදනාවලට ලක්ව සිටින හිටපු ඇමැතිවරුන්ගේ තවත් සමීප ඥාතීන් පිරිසක් ඉලක්ක කර ගනිමින්ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.