both-epf---etf-under-joint-control

සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF) යන ආයතන ද්විත්වයේම සියලුම කාර්යයන් ඒකාබද්ධ වූ එකම පාලන ව්‍යුහයක් යටතට පත් කිරීමේ ශක්‍යතාව පිළිබඳව සොයා බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මෙන්ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අනාවරණය කළේය.




රජය, සේවකයන් මෙන්ම සේවායෝජකයන් යන පාර්ශ්ව තුනෙහිම නියෝජනය සහිත ත්‍රෛපාර්ශ්වික මණ්ඩලයක් හරහා මෙම ඒකාබද්ධ පාලන රාමුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හොඳම ක්‍රමවේදයන්ට අනුකූල වෙමින්, අරමුදල්වල සාමාජිකත්වය දරන පොදු ජනතාවගේ වත්කම් සඳහා උපරිම මූල්‍යමය හා නීතිමය ආරක්ෂාව තහවුරු වන අයුරින් මෙම නව පරිපාලන ව්‍යුහය සකස් කිරීමේ හැකියාව විමසා බලා වාර්තා කිරීම අලුතින් පත් කෙරෙන නිලධාරි කමිටුව වෙත පැවරෙන ප්‍රධාන කාර්යභාරය වේ.

මේ වන විට සේවක අර්ථසාධක අරමුදල සතු වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.9 ඉක්මවන අතර එමඟින් මෙරට සේවකයන් මිලියන 2.5කට අධික සංඛ්‍යාවකගේ අයිතිවාසිකම් ආවරණය කෙරේ. දැනට පවතින ක්‍රමවේදය යටතේ මෙම අරමුදලේ භාරකාරිත්වය, මූල්‍ය පරිපාලනය, ආයෝජන කළමනාකරණය සහ සාමාජිකයන්ට ප්‍රතිලාභ මුදල් ගෙවීමේ වගකීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉටු කරනු ලබයි. සේවායෝජකයන් සහ සේවකයන් ලියාපදිංචි කිරීම, හිඟ මුදල් අය කර ගැනීම, අදාළ නීති රීති බලාත්මක කිරීම සහ පනත ප්‍රකාරව සේවක අයිතීන් සුරක්ෂිත කිරීමේ පරිපාලනමය වගකීම් සිදු කරනු ලබන්නේ කම්කරු දෙපාර්තමේන්තුව මඟිනි.




අනෙක් පසින් 1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත යටතේ ස්ථාපිත කර ඇති සේවා නියුක්තයන්ගේ භාර අරමුදල දැනටමත් පාලනය වන්නේ සේවායෝජක සහ සේවක පාර්ශ්ව නියෝජනය වන ත්‍රෛපාර්ශ්වික මණ්ඩලයක් මඟිනි. මේ වන විට මිලියන 3කට අධික සක්‍රීය සාමාජික පිරිසක් සිටින මෙම අරමුදල සතු වත්කම් අගය රුපියල් බිලියන 637.5ක් ඉක්මවයි. මෙවැනි සමාජ ආරක්ෂණ අරමුදල් කළමනාකරණය සඳහා ත්‍රෛපාර්ශ්වික පාලන ක්‍රමවේදයක් අනුගමනය කිරීම ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් පවා ප්‍රවර්ධනය කරනු ලබන, ලොව පුරා පිළිගත් මූලික ප්‍රතිපත්තියක් ද වේ.