
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් පසුගිය සමයේ මාධ්‍ය සාකච්ඡාවලදී සිදුකළ ප්‍රකාශ මඟින් අධිකරණයට අපහාස වී ඇතැයි පවසමින්, හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හයදෙනෙකුට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට ක්‍රියා කරන බව රහස් පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු වාර්තා කළේ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේදීය.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර යන මහත්වරුන්ට අමතරව අසංක නවරත්න, සුගීෂ්වර ලෙනින් බණ්ඩාර සහ මහින්ද පතිරණ යන අය මෙලෙස නඩු පැවරීමට නියමිත අනෙක් පුද්ගලයෝ වෙති.මෙම පුද්ගලයන් හයදෙනා විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවලට අදාළ සංස්කරණය නොකළ දර්ශන පටිගත කිරීම් රහස් පොලිසිය වෙත ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් මෙරට ප්‍රමුඛ පෙළේ රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන දහයක ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් වෙත නියෝග කර ඇත. ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, සිරස, හිරු, දෙරණ, ස්වර්ණවාහිනිය, සියත, ටී.එන්.එල්, ශක්ති සහ වසන්තන් යන මාධ්‍ය නාලිකා වෙත මෙම නියෝගය නිකුත් කෙරුණේ රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් පිළිගනිමිනි.
පාස්කු ඉරු දින කතෝලික පල්ලි සහ තරු පන්තියේ හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන... මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ විමර්ශන යටතේ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුව මහේස්ත්‍රාත්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම රඳවා තබා ගැනීම සිදු කෙරේ. එලෙස අධිකරණ අධීක්ෂණය යටතේ පවතින රැඳවුම් භාරය, අදාළ දේශපාලනඥයන් සහ පුද්ගලයන් විසින් මාධ්‍ය හමුවලදී "ශානිගේ වධකාගාරය" ලෙස හඳුන්වමින් ප්‍රකාශ නිකුත් කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට පෙන්වා දී තිබේ.
රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා විසින් මෝසමක් මඟින් මෙම පැමිණිල්ල කැඳවමින් විමර්ශනවල ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. සැකකරුවන් මාධ්‍ය සාකච්ඡාවලදී මෙවැනි අපහාසාත්මක ප්‍රකාශ රැසක් සිදුකර ඇති බැවින්, එම ප්‍රකාශවල මුල් පිටපත් පරීක්ෂා කර විමර්ශන කටයුතු නිම කිරීමෙන් පසු ඔවුන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට අපේක්ෂා කරන බව රහස් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ මාධ්‍ය දර්ශන ලබාදීමට නියෝග කළ අතර, සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් ද ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියම කළේය.
