a-person-who-illegally-transferred-700-million-us-dollars-abroad-is-caught

භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් මෙරටින් ඇමරිකානු ඩොලර් මිලියන 700කට අධික මහා පරිමාණ මුදලක් නීතිවිරෝධී ලෙස විදේශගත කිරීමේ මහා පරිමාණ ජාවාරමක තොරතුරු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ මීගමුව පොලිසිය එක්ව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනාවරණය කරගෙන තිබේ. මෙම මූල්‍ය වංචාව මෙහෙයවූ ප්‍රධාන ආයතනයේ අධ්‍යක්ෂවරයා මීගමුව ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක සැඟව සිටියදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය විසිවැනිදා කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකරු සම්බන්ධයෙන් දින හතක රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ලැබෙන ඕනෑම මුදලක් එහි මූලාශ්‍රය නොබලා විදේශගත කරන බවත්, ඒ වෙනුවෙන් එක් ඩොලරයකට රුපියල් දෙකක කොමිස් මුදලක් ලබාගන්නා බවත්ය.




මෙම සුපිරි ජාවාරමේ සුරුත්තුව දිග හැරෙන්නට පටන් ගත්තේ 2025 ඔක්තෝබර් 22 වැනිදා පෑලියගොඩදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කර රුපියල් කෝටි තුනක මුදලක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමගය. එම සැකකරුවන්ගෙන් සහ ඔවුන්ගෙන් ලද තොරතුරු මත මීගමුවේදී අත්අඩංගුවට ගත් තවත් පිරිසකගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ මෙම මුදල් විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙත යැවීම සඳහා සන්තකයේ තබාගත් කුඩු සල්ලි බවයි. මේ අතරතුර පසුගිය මාසයේදී ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කළ පුද්ගලයන් 21 දෙනා අතර සිටි, මෙම ජාවාරම එරට සිට මෙහෙයවූ ප්‍රධානියාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කොළඹ පිහිටි අදාළ පෞද්ගලික ආයතනය හරහා මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් ගෙන්වා ගන්නා බව අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් විමර්ශන පුළුල් කළ නිලධාරීන්ට, අදාළ ආයතනයට බැර කිරීම සඳහා රුපියල් කෝටි තුන්හමාරක මුදලක් රැගෙන කොළඹ පෞද්ගලික බැංකුවකට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර ඔහු ආයතන අධ්‍යක්ෂවරයාගේ සෙහොයුරියකගේ පුත්‍රයෙකු බව හෙළි විය. ඉන්පසුව ප්‍රධාන සැකකරු වන අධ්‍යක්ෂවරයා තමන්ගේ වාහන භාවිත නොකර කුලී පදනම මත ලබාගත් වාහනවලින් විවිධ ප්‍රදේශවල සැඟව සිටිමින් පොලිසිය මගහැරීමට උත්සාහ කර තිබේ. කෙසේ වෙතත්, ලැබුණු තොරතුරකට අනුව මීගමුවේදී ඔහු කොටු කර ගැනීමට හැකි වූ අතර, සැකකරු සතු රුපියල් කෝටි විස්සකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක්ද විමර්ශන නිලධාරීන් විසින් මේ වන විට තහනමට ලක් කර ඇත.




මෙම ජාවාරම සඳහා 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ බැංකු 13කට අයත් ගිණුම් 227ක් හරහා ටෙලිග්‍රැෆි ට්‍රාන්සර් ක්‍රමය යොදා ගනිමින් රුපියල් කෝටි විසි එක්දහසකට අධික, එනම් ඩොලර් මිලියන 700කට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිට කර තිබේ. සැකකරු විසින් විවිධ බැංකුවල ජංගම ගිණුම් 36ක් විවෘත කර ඇත්තේ ව්‍යාපාර කිරීමට තරම් ආර්ථික වත්කමක් නැති, සාක්ෂරතාවයෙන් අඩු මෙන්ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ පුද්ගලයන්ගේ නමින් වීම විශේෂත්වයකි. මෙම ගිණුම් විවෘත කිරීමේදී බැංකු මගින් කිසිදු සොයා බැලීමක් කර නොමැති බැවින්, බැංකුවල ඇතැම් නිලධාරීන්ගේ සහායද මොවුන්ට ලැබී ඇති බවට සැක කෙරේ.

මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රැසක් ද තීරු බදු වංචා කිරීමේ අරමුණින් මෙම සමාගම හරහා ඩොලර් පිටරට යවා ඇති අතර, එහිදී ආනයනික භාණ්ඩවලට අවම වටිනාකමක් පෙන්වා රේගුව මුළා කර තිබේ. ජාවාරම්කරුවන් විසින් ව්‍යාපාර කරන බව ඇඟවීම සඳහා ව්‍යාජ සමාගම් විශාල ප්‍රමාණයක් ලියාපදිංචි කර තිබුණද, ඔවුන් කිසිදු භාණ්ඩයක් මෙරටට ගෙන්වා නොමැති බව විමර්ශනවලදී තහවුරු වී ඇත. මෙම ව්‍යාජ සමාගම් අතුරින් එක් ආයතනයක් පමණක් අවස්ථා 953කදී රුපියල් කෝටි 1289ක මුදලක්, එනම් ඇමරිකානු ඩොලර් මිලියන 42.7ක් විදේශ රටවල් 26ක පිහිටි සමාගම් 250කට අධික සංඛ්‍යාවකට යවා ඇත්තේ නාන කාමර උපකරණ, ගොඩනැගිලි ද්‍රව්‍ය, චොකලට් සහ ආහාර වර්ග ගෙන්වන බව පවසමිනි.



මෑතකදී පෞද්ගලික බැංකුවක සිදුවූ රුපියල් බිලියන 13ක මූල්‍ය වංචාවට අදාළ මුදල්ද මෙම ආයතනය හරහා රටින් පිටකර ඇති බවට සැක කෙරෙන අතර මේ වන විට වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි මෙහි පෞද්ගලික සහ රාජ්‍ය බැංකු ගිණුම් අක්‍රීය කර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දිවුලපිටිය ප්‍රදේශයේ බැංකුවක තැන්පත් කළ මුදල් මෙම ආයතනය හරහා ඩුබායි වෙත යවා ඇති අතර, මෙම සමාගම සතුව රුපියල් බිලියන 2.2ක මුදලක් තිබී ඇති බව සොයාගෙන තිබේ. දින දෙක තුනකට වරක් චෙක්පත් මගින් මුදල් ලබාගෙන පිටකොටුවේ බැංකු ගිණුම්වල තැන්පත් කරමින් සිදුකළ මෙම මහා පරිමාණ ජාවාරම සඳහා දේශීය සමාගම් 105ක් සම්බන්ධ වී ඇති අතර ඒ පිටුපස පුද්ගලයන් 55 දෙනෙකු පමණ සිටින බව හෙළි වී ඇත. සාමාන්‍යයෙන් ටෙලිග්‍රැෆි ට්‍රාන්සර් ක්‍රමයට භාණ්ඩ ආනයනය නොකළහොත් රේගුව ඒ බව මහ බැංකුවට හෝ ආනයන අපනයන පාලකවරයාට දැනුම් දිය යුතු වුවත් පසුගිය කාලයේ එම නියාමනයන් නිසි පරිදි සිදුව නොමැති අතර, 2017 වසරේදී විනිමය හුවමාරු පනත සංශෝධනය කර විනිමය පාලන වැරදි මුදල් විශුද්ධි කිරීමේ පනතෙන් ඉවත් කිරීම හේතුවෙන් ජාවාරම්කරුවන් කිසිදු බියකින් තොරව මෙම වංචාව සිදුකර ඇති බව විමර්ශන නිලධාරීහු පෙන්වා දෙති.

a-person-who-illegally-transferred-700-million-us-dollars-abroad-is-caught

a-person-who-illegally-transferred-700-million-us-dollars-abroad-is-caught