ඇමෙරිකාවේ වොෂිංටන් ඩී.සී. හි පිහිටි ජෝන් එෆ්.
කෙනඩි කලා මධ්‍යස්ථානයේ බාහිර බිත්තියේ සඳහන් කර තිබූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. එම නම ඉවත් කිරීම වළක්වාලමින් ඉදිරිපත් කළ හදිසි අභියාචනයක් ඇමෙරිකානු විනිසුරුවරයෙකු විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම පියවර ගනු ලැබීය.පෙර පැවති පාලන සමයේදී ට්‍රම්ප් විසින් පත් කරන ලද භාරකාර මණ්ඩලයේ ඒකමතික තීරණයක් මත කලා මධ්‍යස්ථානයේ නම වෙනස් කරමින් “ද ඩොනල්ඩ් ජේ ට්‍රම්ප්” යනුවෙන් කොටස් එකතු කර තිබුණි. කෙසේ වෙතත්, මෙය 1964 වසරේදී කොන්ග්‍රසය විසින් තීරණය කරන ලද නමකට පටහැනිව සිදු වූ නීති විරෝධී ක්‍රියාවක් බව තීන්දු කළ එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ක්‍රිස්ටෝපර් කූපර්, එම නම ඉවත් කරන ලෙස නියෝග කළේය.
මෙම නියෝගය අනුව, අදාළ නම ඉවත් කිරීම සඳහා සිකුරාදා රාත්‍රී 11.59 දක්වා කාලසීමාවක් ලබා දී තිබූ නමුත් එම කාලය තුළ කටයුතු නිම නොවූ හෙයින්, පසුගිය සෙනසුරාදා අලුයම සිටම කම්කරුවන් විසින් එම අකුරු ඉවත් කිරීමේ කාර්යය ආරම්භ කරන ලදී. මහජන දර්ශනය වීම වැළැක්වීම සඳහා මුලින් තාවකාලික ආවරණයක් යොදා තිබුණ ද, මිනිත්තු 30ක පමණ කාලයක් තුළ ට්‍රම්ප්ගේ නම සාර්ථකව ඉවත් කිරීමට කම්කරුවන්ට හැකි විය.
එම ස්ථානයේ රැස්ව සිටි පිරිසක් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම සතුටින් පිළිගත් අතර, නැවතත් එම ස්ථානය “ජෝන් එෆ්. කෙනඩි අනුස්මරණ කලා මධ්‍යස්ථානය” ලෙස නම් කෙරෙනු දැකීමට ඔවුහු බලාපොරොත්තු වූහ. ඔහියෝ ප්‍රාන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත ජොයිස් බීටි විසින් ගොනු කළ නඩුවක ප්‍රතිඵලයක් ලෙස විනිසුරුවරයා මෙම තීන්දුව ලබා දුන් අතර, කෙනඩි මධ්‍යස්ථානයේ නම වෙනස් කිරීමේ නෛතික අයිතිය ඇත්තේ කොන්ග්‍රසයට පමණක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. මීට අමතරව, මධ්‍යස්ථානය වසර දෙකක කාලයකට ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දැමීමට ට්‍රම්ප් විසින් සිදු කළ ඉල්ලීම ද විනිසුරුවරයා විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබීය.
