sajabes-ex-mayors-revelation-about-charit-who-was-kicked-out-of-britain

ප්‍රකට අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ නමැත්තා පොලිස් අත්අඩංගුවේදී වාසි ලබාදීම සඳහා මෙම අල්ලස් ගනුදෙනුව සිදු කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවේ පසුවන සමගි ජන බලවේගයේ සංවිධායකවරයෙකු වන චරිත් අබේසිංහ සම්බන්ධයෙන් එම පක්ෂයේ වැලිගම හිටපු නගරාධිපති රොහාන් ජයවික්‍රම මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කරුණු පැහැදිලි කළේය. එහිදී ඔහු කියා සිටියේ පවතින නීතිමය තත්ත්වයන් හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ගේ නම් හෙළි නොකරන නමුත්, සජබ නියෝජනය කරමින් අත්අඩංගුවට පත්ව සිටින මෙම පුද්ගලයා මීට පෙර බ්‍රිතාන්‍යයේදී ද අධිකරණයකින් වැරදිකරුවකු වී පසුව මෙරටට පැමිණි අයෙකු බවයි.




සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන එරන් වික්‍රමරත්න මහතා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය භාරගත් අවස්ථාවේදී, එය පක්ෂ විරෝධී සහ ද්‍රෝහී ක්‍රියාවක් ලෙස හංවඩු ගැසීමට මෙම සැකකරු විවිධ ස්ථානවලදී කටයුතු කළ බව හිටපු නගරාධිපතිවරයා පෙන්වා දෙයි. එසේම පක්ෂයේ සිටින තවත් ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාටද ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම පහර දීමට මොහු ක්‍රියා කර තිබේ. කිසියම් වරදක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතු වුවත්, පක්ෂයේ සිටින පරිණත නායකයන් ඉවත් කිරීම සඳහා මෙවැනි පුද්ගලයන් යොදවා ගැනීම බරපතළ ගැටලුවක් බව හෙතෙම අවධාරණය කළේය.

කිසිදු සුදුසුකමකින් තොරව පක්ෂය තුළ ඇතැම් පුද්ගලයන් ඔසවා තැබීමට කටයුතු කිරීම හේතුවෙන් අද වන විට සමගි ජන බලවේගය දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව රොහාන් ජයවික්‍රම මහතා ප්‍රකාශ කරයි. පක්ෂ නායකත්වයට අභියෝගයක් විය හැකි හෝ තමන් අකමැති හර්ෂ සහ එරන් වැනි ජ්‍යෙෂ්ඨයන් පක්ෂයෙන් ඈත් කර තැබීම සහ ඔවුන් පාලනය කිරීම සඳහා මෙවැනි චරිත දම්මා පහරදීමේ උපක්‍රමයක් පක්ෂය අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වූ බවට ඔහු චෝදනා කළේය.




විපක්ෂයේ සිටිමින් රජයට මඩ ගසමින් ප්‍රසිද්ධියේ දැඩි ප්‍රකාශ නිකුත් කළ පුද්ගලයන්ට අද වන විට තමන් කළ කී දෑවල ප්‍රතිඵල ලැබෙමින් පවතින බව පවසන ඒ මහතා, ඉදිරියේදී හෝ පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුම් සඳහා පුද්ගලයන් තෝරා ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවට අනතුරු ඇඟවීමක් ද කළේය. එසේම, පෙර රජයන් හා සසඳන විට වත්මන් රජය තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මහජනතාව තුළ පැහැදීමක් නිර්මාණය වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.