an-investigation-into-the-jungle-kumari-that-crashed-in-the-meenagaya-train

කුරුණෑගල දුම්රිය ස්ථානයේ නවතා තිබූ ‘කැලෑ කුමාරි’ ලෙස ජනප්‍රිය බලවේග දුම්රියක් රියැදුරකු නොමැතිවම ඉදිරියට ධාවනය වී මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ ‘මීනගයා’ සීග්‍රගාමී දුම්රියේ ගැටීමට ගිය මහා අනතුරක් වළක්වා ගැනීමට හැකි වී තිබේ. සිදු වීමට ගිය මෙම බිහිසුණු දුම්රිය අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇත.




පසුගිය 28 වැනිදා රාත්‍රී 9.30 ත් 10.00 ත් අතර කාලයේදී කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් මෙම අනපේක්ෂිත සිදුවීම වාර්තා වී තිබේ. පසුදා උදෑසන කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය කිරීමට නියමිතව තිබූ මෙම දුම්රිය සුපුරුදු පරිදි රාත්‍රී කාලයේදී එම දුම්රිය ස්ථානයේ නවතා තබා ඇත. එහිදී දුම්රියේ තිරිංග පද්ධතිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එය කිසිදු පාලනයකින් තොරව පොතුහැර දෙසට ඉබේම ධාවනය වීමට පටන් ගෙන තිබේ.

කිසිවෙකු නොමැතිව දුම්රිය ඉදිරියට ඇදෙන අයුරු දුම්රිය ස්ථානයේ නිලධාරීන් දැක ඇත්තේ එය කුරුණෑගල දුම්රිය ස්ථානය පසුකර මීටර් 100ක් පමණ දුරකට ගිය පසුවය. ඒ වන විටත් ක්‍රියාත්මක වූ කුරුණෑගල දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු සේවක මණ්ඩලය දුම්රිය නැවැත්වීමට දැඩි උත්සාහයක නිරත වුවද එම සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ගොස් ඇත.




මෙලෙස පාලනයෙන් තොරව ඉදිරියට ඇදුණු දුම්රිය කුරුණෑගල දුම්රිය ස්ථානයේ සිට මීටර් 400ක් පමණ දුරින් පිහිටි නයිලිය දුම්රිය ස්ථානයට ආසන්න කන්දක් වැනි උස් භූමියක් වෙත ගොස් නිතැතින්ම නතර වී තිබේ.

එම අවස්ථාව වන විට කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වන ‘මීනගයා’ සීග්‍රගාමී දුම්රිය ද පොතුහැර දුම්රිය ස්ථානයේ නවත්වා නැවත කුරුණෑගල දෙසට ධාවනය වෙමින් පවතී. තත්ත්වය වටහාගත් පොතුහැර සහ කුරුණෑගල දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වෙමින් දුරකථන මාර්ගයෙන් ‘මීනගයා’ දුම්රියේ රියැදුරා සම්බන්ධ කර ගැනීමට පියවර ගෙන ඇත. එහිදී ලද පණිවුඩයත් සමඟ ක්‍රියාත්මක වූ රියැදුරා, ‘කැලෑ කුමාරි’ දුම්රියට ඉතාම ආසන්නව තිබියදී ‘මීනගයා’ දුම්රිය නවත්වා ගැනීමට සමත් විය.



දුම්රිය බලධාරීන්ගේ සහ සේවක මණ්ඩලයේ මෙම ක්ෂණික හා සාමූහික මැදිහත්වීම හේතුවෙන් විශාල විනාශයක් සිදු වීමට තිබූ දුම්රිය අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බව දුම්රිය කාර්ය මණ්ඩලය පවසයි.

දුම්රියක් ස්ථානයක නවතා තබන අවස්ථාවලදී එහි තිරිංග පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව රියැදුරන් දැඩි අවධානයක් යොමු කළ යුතු වුවද, මෙම දුම්රියේ අවම වශයෙන් අත්තිරිංග (Hand Brakes) පද්ධතිය හෝ ක්‍රියාත්මක කර නොතිබූ බවට සැක කෙරේ. එසේත් නොමැති නම් තිරිංග පද්ධතියේ ඇති වූ යම් තාක්ෂණික දෝෂයක් මත මෙය සිදු වූයේද යන්න පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව දීර්ඝ පරීක්ෂණ පවත්වයි.

ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බලවේග දුම්රිය කට්ටලවල අත්තිරිංගවලට සම්බන්ධ කේබල් අධික තද ගතියකින් යුක්ත වන බැවින්, ඒවා මෙරට දුම්රිය කාර්මික ශිල්පීන් විසින් ගලවා නවීකරණය කර සකස් කර තිබෙන බව වාර්තා වේ. කෙසේ වෙතත්, එම තිරිංග කේබල්වල තත්ත්වය මේ වන විට කල් ඉකුත් වී තිබීම හේතුවෙන් ‘කැලෑ කුමාරි’ දුම්රියේ අත්තිරිංග පද්ධතිය ක්‍රියාවිරහිත වී මෙලෙස ඉබේ ධාවනය වන්නට ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරයෙකු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටී.