
රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබුණද, ත්‍රිරෝද රථ ගාස්තු විධිමත්ව සංශෝධනය කිරීම සහ නියාමනය කිරීම සඳහා වගකිවයුතු නිසි බලධාරියෙකු නොමැතිකමින් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් එල්.
රෝහණ පෙරේරා මහතා පෙන්වා දෙන්නේ පවතින මෙම තත්ත්වය හේතුවෙන් දිවයින පුරා සිටින ත්‍රිරෝද රථ ජීවනෝපාය කරගත් පිරිස් දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි.මීටර් සවිකරමින් මගී ප්‍රවාහනයේ යෙදෙන බහුතරයක් ත්‍රිරෝද රථ ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් වන අතර, මීට පෙර ඒවායේ ගාස්තු පාලනය සම්බන්ධ කමිටු කටයුතු සිදුවූයේ බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගිනි. එහෙත් මෑතකදී සිදුවූ ඉන්ධන මිල ඉහළ යාමත් සමග නව ගාස්තු නිර්ණායකයන් පිළිබඳව එම අධිකාරියේ සභාපතිවරයාගෙන් විමසීමේදී, මේ සම්බන්ධ බලය පැවරී ඇත්තේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බව ඔහු ප්‍රකාශ කර ඇතැයි ලේකම්වරයා සඳහන් කරයි.
ආයතන දෙක අතර පවතින මෙම වගකීම් පැහැර හැරීමේ ස්වභාවය හමුවේ, දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් කිසිදු ස්ථිර තීරණයක් ගැනීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මෙතෙක් පියවර ගෙන නොමැති බවටද සංගමය චෝදනා කරයි. මීට අමතරව, ඉන්ධන මිල වෙනස් වන සෑම අවස්ථාවකදීම ත්‍රිරෝද රථවල පවතින ගාස්තු මීටරය අලුතින් සකස් කරගැනීම සඳහා අදාළ පෞද්ගලික සමාගම් වෙත රුපියල් 200 ක මුදලක් වරින් වර ගෙවීමට රියදුරන්ට සිදුවීම තවත් අමතර බරක් වී තිබේ.
දැනට පවතින ක්‍රමවේදයට අනුව මීටර් සහිත ත්‍රිරෝද රථ සේවාවන්හි මුල්ම කිලෝමීටරය සඳහා රුපියල් 110 ක්ද, ඉන්පසුව ගෙවෙන සෑම කිලෝමීටරයක් සඳහාම රුපියල් 90 බැගින්ද මගීන්ගෙන් අය කෙරේ. මෙම ගාස්තු ක්‍රමවේදයේ සාධාරණත්වය හෝ ප්‍රමිතිය පිළිබඳව සොයා බැලීමට කිසිදු රාජ්‍ය ආයතනයක් හෝ වගකිවයුතු පාර්ශවයක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවද රෝහණ පෙරේරා මහතා පවසයි.
පවතින ඉන්ධන මිල හමුවේ මෙම පැරණි ගාස්තු යටතේ ත්‍රිරෝද රථ ධාවනය කිරීමෙන් කිසිදු ලාභයක් උපයාගත නොහැකි බව පවසන ඒ මහතා, ඉන්ධන පිරිවැයට අමතරව ත්‍රිරෝද රථ සඳහා අවශ්‍ය වන අමතර කොටස්වල මිල ගණන්ද අතිශය ඉහළ මට්ටමක පවතින බව අවධාරණය කරයි. වෙළඳපොළේ පවතින මෙම අසාධාරණ මිල ගණන් ඉහළ යාම පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවා කිසිදු සොයා බැලීමක් හෝ මැදිහත්වීමක් සිදු නොකරන බවටද ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයේ නියැලුන්නන් වැඩිදුරටත් චෝදනා කර සිටී.
