
අධිකරණ නියෝගයක් මත සිය භාරයේ සිටි සහෝදරයාගේ දියණියකට බරපතළ ලෙස ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට ලක්වූ පුද්ගලයෙකුගේ ඇප අවලංගු කර ඔහු දින 14 ක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අම්පාර අතිරේක මහේස්ත්‍රාත් පුෂ්පරාජා ආනන්ද වදනි මහත්මිය නියෝග කර තිබේ. අම්පාර උහන පොලිස් බලප්‍රදේශයට අයත් වෑරැංකැටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු ප්‍රදේශයේ විහාරස්ථානයක දහම් පාසලක ප්‍රධානාචාර්යවරයෙකු ලෙසද කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වසර කිහිපයකට පෙර අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව අදාළ දැරියගේ භාරකාරීත්වය මෙම සැකකාර බාප්පා විසින් භාරගෙන තිබුණි. ඒ අනුව එම නිවසේ ජීවත් වූ දැරියව නිවසේ වෙනත් කිසිවෙකු නොමැති අවස්ථාවන්හිදී සැකකරු විසින් දිගින් දිගටම ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව සඳහන් වේ. මෙම හිරිහැරය ඉවසාගත නොහැකි වූ දැරිය සිය පාසල් මිතුරියන්ට මේ පිළිබඳව පැවසීමෙන් අනතුරුව, ඔවුන්ගේ උපදෙස් මත තම සහෝදරයාට සිද්ධිය දැනුම් දී තිබේ. පසුව ගම්වාසීන්ද මේ බව දැනගෙන ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත කරන ලද දැනුම් දීමකට අනුව උහන පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
උහන පොලිස් ස්ථානයේ කාන්තා කාර්යාංශය විසින් අදාළ වරදෙහි බරපතළකම නිසි පරිදි හඳුනා නොගෙන අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කිරීම හේතුවෙන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය මගින් මුලින් සැකකරුට ඇප ලබා දී තිබුණි. කෙසේ වෙතත්, උහන පොලීසිය විසින් සිදු කළ විමර්ශනය නිසි අයුරින් සිදු නොවූ බව පවසමින් දැරියගේ පියා විසින් අම්පාර දිස්ත්‍රික්කය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චි මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දයානි ගමගේ මහත්මියට මෙම සිද්ධිය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් පවත්වන ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.
නැවත ආරම්භ කළ පුළුල් විමර්ශනයේදී අදාළ දැරිය අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර ඇති අතර, එහිදී දැරිය බරපතළ ලෙස ලිංගික අපචාරයකට ලක්ව ඇති බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇත. එම කරුණු මත පදනම්ව සැකකරුව නැවත අම්පාර අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව, මින් පෙර ලබා දී තිබූ ඇප අවලංගු කර ඔහු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.
මීට අමතරව, සිද්ධිය සම්බන්ධයෙන් මුලින් ක්‍රියා කළ උහන කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පිළිබඳවද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එහි ස්ථානාධිපතිනිය වෙනත් පොලිස් ස්ථානයකට මාරු කිරීමටද පියවර ගෙන තිබේ. නැඟෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ අධීක්ෂණය යටතේ අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් මෙම වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ. අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ඇතුළු පොලිස් පරීක්ෂිකා තරංගා, පොලිස් සැරයන් (37387) වීරසිංහ සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන (10237) උෂානි මෙන්ම (10686) සචිනි යන නිලධාරීහු විමර්ශන කටයුතු සඳහා එක්ව සිටිති.
