
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලන කටයුතු වඩාත් ශක්තිමත් කරමින්, කොළඹ, මහනුවර සහ ගාල්ල ජාතික රෝහල්වල අධ්‍යක්ෂ ධුර ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් නව දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පසුගිය 11 වනදා පෙරවරුවේ මෙම පත්වීම් ලිපි නිල වශයෙන් භාරදීම සිදු කෙරුණු අතර, මෙම සියලු පත්වීම් 12 වනදා සිටම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කර ඇත.
දීර්ඝ කාලයක් තිස්සේ පුරප්පාඩුව පැවති මෙම උසස් තනතුරු සඳහා නව නිලධාරීන් බඳවා ගනු ලැබුවේ පසුගිය මැයි මාසයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වන ලද සම්මුඛ පරීක්ෂණවලට අනුවය. වසර හතක අටක පමණ දීර්ඝ කාලසීමාවක් පුරා මෙම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු පිරවීමට පියවර නොගැනීම හේතුවෙන්, ප්‍රධාන රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන රැසක කළමනාකරණ හා පරිපාලන කටයුතු මෙතෙක් පැවතියේ බිඳ වැටුණු මට්ටමකය. සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මනා අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලකයන් පිරිසක් මෙලෙස නව තනතුරුවලට පත් කර සිටිති.
මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ගෙවුණු වසර එකහමාරක කාලය තුළ මෙරට ජනතාව වෙනුවෙන් විධිමත් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා අමාත්‍යාංශය ගත් වැදගත්ම පියවර මෙය වන බවයි. මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හැඳින්විය හැකි බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පසුගිය කාලසීමාව පුරාම අමාත්‍යාංශය විසින් සිදු කළේ පද්ධතියේ පැවති අඩුපාඩු පිළිසකර කිරීම බවත්, මේ වන විට කටයුතු කරගෙන යාම සඳහා මනා පදනමක් සකස් කර ඇති බැවින්, එම පදනම මත පිහිටා ඉදිරි සංවර්ධනය ගොඩනැඟීමේ ප්‍රධාන වගකීම මෙම නව නිලධාරී මණ්ඩලයට පැවරෙන බවත් ඔහු අවධාරණය කළේය.
වසර 2024 න් පසුව රජයක් ලෙස සම්මත කරන ලද විවිධ නීති සහ රෙගුලාසි හේතුවෙන් වත්මන් පරිපාලන කටයුතු නිවැරදිව ඉටු කිරීමට මනා වටපිටාවක් නිර්මාණය වී ඇති බව පැවසූ අමාත්‍යවරයා, මෙහිදී පෞද්ගලිකව කැපී පෙනීමට උත්සාහ නොකර සමස්ත කණ්ඩායමක් ලෙස රට වෙනුවෙන් උපරිම සේවයක් ලබාදීමට කටයුතු කරන ලෙස නව නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම, මෙම නිලධාරීන්ට තම රාජකාරී කටයුතු ස්වාධීනව කරගෙන යාම සඳහා අවශ්‍ය නිදහස් පරිසරය අමාත්‍යාංශය විසින් සකසා ඇති බවත්, ඒ සඳහා කිසිදු ආකාරයක දේශපාලන බලපෑමක් එල්ල නොවන බවට තමන් සහතික වන බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු යනු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමස්ත ක්‍රියාවලියේම කොඳු නාරටිය බඳු බවයි. පත්වීම් ලැබූ සියලුම නිලධාරීන් ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල පිරිසක් බැවින්, තමන් වෙත පැවරුණු ජාතික වගකීම මනාව වටහාගෙන මෙරට මහජනතාව වෙනුවෙන් උපරිම සහ නිසි සේවාවක් සැලසීමට කටයුතු කළ යුතු බවද ලේකම්වරයා සිහිපත් කළේය.
මෙලෙස පත්වීම් ලිපි ලබාගත් නව නිලධාරීන් වන්නේ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස විශේෂඥ වෛද්‍ය එම්.කේ.එස්. ඉන්දික කුමාර, වෛද්‍ය සේවා I නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස විශේෂඥ වෛද්‍ය පී.ඩී.එස්. කිරිවන්දෙනිය, දන්ත සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක, අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස විශේෂඥ වෛද්‍ය කේ.ඩී.පී. විජේසිංහ, මහජන සෞඛ්‍ය II නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස විශේෂඥ වෛද්‍ය කේ.ඒ.ඩී.ඩී.වී.එල්. කුමාරපේළි, ගාල්ල ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, වෛද්‍ය සැපයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස විශේෂඥ වෛද්‍ය එස්.පී.ඒ.එල්. රණවීර, මහනුවර ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස විශේෂඥ වෛද්‍ය එම්.එන්. වීරසූරිය සහ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස විශේෂඥ වෛද්‍ය එච්.එම්.ඒ. තිලකරත්න යන මහත්ම මහත්මීන්ය.
මෙම සුවිශේෂී පත්වීම් ප්‍රදානෝත්සවය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, ජනක කිත්සිරි ගුණවර්ධන, චාමික එච්. ගමගේ, කේ.පී. යෝගචන්ද්‍ර සහ සමන්ති රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක්ද සහභාගි වී සිටියහ.
